function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Thursday, July 28, 2011

මිතුරා

 ගන්දරයාටත් ගැහැණු ගැන කතාවක් ලියන්නට සිතුනි. කස්සා වගේම මමත් මේක ලියන්නේ ගැහැණු ගැන පට්ට තරහිනි, ඒ නිසා මෙහි හිනාවෙන්නට දෙයක් නැත. වසුන්දරාට ඕනෑනම් “ගන්දරයාට පිළිතුරක්” කියා පෝස්ට් එකක් වුවද දැමිය හැකිය, ඒ ගැන ගන්දරයාගේ අමනාපයක් නැත. “ආලය කල මුත් පණට පණ සේ ස්ත්‍රි ජාතිය නෑ විස්වාසේ යි” කියා කවුදෝ පුරාණ පඬියෙක් කියා ඇත. ඒ කතාව නම් සහතික ඇත්තය. මනමේ කුමාරයාටත් උනේ ඒක ය.
ඒ කතාව එහෙමය, මගේ කතාව මෙහෙමය…..
දිනය : හරියටම මතක නැත
වේලාව : ඉර හැරෙන්නට දෙපැයකට පමන පෙර
ගන්දරයාට හදිසි අවශ්‍යතාවකට බොරැල්ලට යන්නට ඕනා විය. ගන්දරයා ඉන්නේ හෝමාගමය, හොමාගම සිට බොරැල්ලට තනි බසයක් නැත. යායුතු වන්නේ කොට්ටාවට ගොස් කොට්ටාවේ සිට වෙනත් බසයකය. බසයක් එනතුරු ගන්දරයා කඩයක් අයිනට වී කඩේ මුදලාලි සමඟ කඩයක් දමාගෙන සිටී. පවනට බඳු වේගයෙන් පියඹා පැමිණි කළු පැහැති ප්‍රාඩෝවක් කඩය අසල නැවතිනි. එයින් එලියට බැසගත් “අයියා” ඇසේ දමා සිටි කළු කණ්නාඩිය් කූට්ටම ඔළුවට දමාගෙන කඩයට ගොඩ විය.
“මුදලාලී මට අයිස් ක්‍රීම් ලීටර් 4ක් දෙන්නකො”
“අයියා” මුදලාලිගෙන් අයිස් ක්‍රීම් ඉල්ලයි,
අරුමැකි……. ගන්දරයාට මේ “අයියා” නිකං දැකලා පුරුදුයි පුරුදුයි වගේය… නමුත් කොහෙදී දැයි මතක නැත…. මේ අතර “අයියා” ද ගන්දරයා දෙස බලා අඳුරන සිනාවක් පෑවේය
“මල්ලි කොහේ දී හරි දැකලා තියනවා වගේ”
හත්තිලව්වට ගහපු කලාබරයයි කිව්වලු මෙන්න “අයියත්” කියනවා ගන්දරයව දැකලා පුරුදුලු……
“මල්ලී කොහෙද මල්ලී”
“මම හෝමාගම අයියේ”
“මම පානදුරේ…..”
දෙන්නාටම, දෙන්නා හොඳින් දැකලා පුරුදුය…… නමුත් කොහෙදී දැයි දෙදෙනාටම මතක නැත. ඒකට කමක් නැත “අයියා” යන්නේද බොරැල්ලටය, ගන්දරයත් දෙන දෙයියන්ට පින් දෙමින් ප්‍රාඩෝවට ගොඩ විය.
“අයියා” ගේ නම රුවන්තය. වැඩ කරන්නේ අහවල් ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස‍ය, අහවල් ඇමති තුමා ද නම ගිය චන්ඩියෙකි, ඒ පිහිටෙන් රුවන්ත අයියා ද චන්ඩියෙකි, යන ගමන් කතා කරන්නේද කර කී චන්ඩිකම් ගැනය, ගන්දරයාට ද මාර හැපිය, ගන්දරයා අඳුරන්නේද එසේ මෙසේ පොරවල් නොවේය. නොදන්නවා උනාට ගන්දරයත් වැදගත් පොරක් නෙව…….
හයිලෙවල් පාරේ ට්‍රැෆික් ය….
” ෂහ් අපිට කොට්ටාවෙන් හරවලා යන්න තිබුනා එහෙනම් ට්‍රැෆික් එකට අහුවෙන්නෑ…… ඒත් මහරගම ස්ටුඩියෝ එකට යන්න ඕන නේ වෙඩින්ග් එකේ ඇල්බම් ටික ගන්න”
රුවන්ත අයියා කියයි
“රුවන්ත අයියා ලඟදී ද මැරි කලේ”
ගන්දරයා අසයි
“ඔව් මල්ලී වෙඩින්ග් එක තිබුනේ ගිය සතියේ…. ඔය කැබිහෝල් එකේ Thank you කාඩ් ටිකක් ඇති”
ගන්දරයා එයින් එක් කාඩ්පතක් ගත්තේය…. එහි එක් පසක මනාල යුවල ආදරෙන් වෙලී සිටින පින්තූරයකි අනෙක් පස දෙදෙනාගේ නම් දෙකය
රුවන්ත – ජීවානී
මනාලියගේ නම ජීවානිය…. නම ටිකක් හුරුයි වගේ ය කොයිකටත් කියා පිංතූරය දෙසද බැලීමි…. අරුමයක්මය….. මනාලියගේ මුහුණද හුරු පුරුදුය….. ගන්දරයා ඒ මුහුණ ඔස්සේ වසර 5ක් පමණ අතීතයට ගියේය
* * * * * *
කැම්පස් යන්නට පටන්ගත් කාලයේ ගන්දරයා සිටියේ දෙහිවල පැත්තේ බෝඩිමකය, බෝඩිමට අල්ලපු ගෙදර සිටියේ ගුරු යුවලකි ඔවුනගේ දියණිය ජීවානි ගන්දරයගේ වයසේමය… ඇය ඒ දිනවල පෞද්ගලික බැංකුවක සේවයට ගියාය. ජීවානි ලස්සනය, කොල්ලෙක් හිටියේ ද නැත….. වටේ පිටේ හැම කොල්ලාම ඇයට ට්‍රයි ය…. නොකිව්වාට ගන්දරයත් ට්‍රයි ය. Try and Try one day you can fly යයි සුද්දා කියා ඇත. එය ආදර්ශයට ගැනීමේන් ටික දිනකින් පියාඹන්නට බැරි උනත් ජීවානි ගේ හොඳම මිතුරා වීමට ගන්දරයාට හැකිවිය.
ජීවානිට කරදර කරමින් කොල්ලෙක් ඇගේ පස්සෙන් වැටුනේ මෙන්න මේ කාලයේදීය. ඇය උදේට බස් එකට නගිද්දී ඔහු එතනය, හවසට ආපසු එද්දීත් ඇගේ පසුපසය, කරදරය ඉවරයක් නැත, බැරිම තැන ඈ ගන්දරයාගෙන් උදව්වක් ඉල්ලුවාය
“ඔයාට පුළුවන්ද ටික දවසකට මගේ Boy friend වගේ අර මිනිහට පේන්න එන්න”
ඉබ්බා දියට දාන්ට හදනකොට වතුරෙ ක්ලෝරීන් වැඩී කිව්වලු, හපොයි ගැනු ලමයෙක් එහෙම උදව්වක් ඉල්ලුවම නොකර පුළුවනෑ…… ගන්දරයත් පැනලා වැඩේ බාරගත්තා….. දැන් ගන්දරයා ජීවානිගේ Boy friend වී අර කොල්ලාට පෙනෙන්නට යයි, ඌ දත් කූරු කමින් අප දෙස බලා සිටියි, ඒ අතර ජීවානිත් තොරතෝංචියක් නැතුව අරූට බැනවදී
 “හැටි විතරක් බූරුවාගේ… උලමා වගේ යන යන තැන මගේ පස්සෙන්…. ඕකව බඳිනවට වඩා හොඳයි ගස් උඩ ඉන්න රිලවෙක් බඳිනවා….. ලොකේ ඉන්න එකම පිරිමියා ඔය මිනිහා උනත් මම නම් කැමති වෙන්නේ නෑ නෑ නෑ මයි”
ජීවානී ඒ දවස්වල කියන්නේ එහෙමය දිනක් උදෑසන ඔහු මා ඉදිරිපිටම ජීවානි සමඟ කතාකරන්නට උත්සාහ කලේය… ඒ වෙලාවේ අහල පහල මගේ මිතුරන් දෙදෙනෙකුත් වූ නිසා අමාරුවෙන් පුරුස ධෛරිය උපදවා ගෙන ගන්දරයා කතා කලේය
“ජීවානි මගේ girl friend” ගන්දරයා නම් කිව්වේ ඇත්තටමය… “
ඌ මාදෙස තරහින් පිපිරෙමින් බලා සිටි බැල්ම මට තවමත් මතකය” නමුත් ඉන්පසු ඔහු ජීවානි පසු පස ආවේ නැත මාව අහුවුනොත් මගේ “හතර හන්දී කඩනවායි” ඔහු කියූ බවක් නම් මට පසුව ආරංචි විය.
ජීවානි ගන්දරයාට හා කිව්වේ ද නැත….. බෑ කිව්වේ ද නැත……. කෙසේ හෝ ටික කලකින් ගන්දරයා අළුත් බෝඩිමකට ගියේය. ඉන්පසු ජීවානි ගැන අහන්න ලැබුනේ ද නැත.
***************
එදා මගේ හතර හන්දී කඩනවායි කියූ එකා දැන් මා ලඟය දැන්නම් මට රුවන්ත අයියා කව්දැයි හොඳින් මතකය. A/C එක ඇතුලේම ගන්දරයාට හීන් දාඩිය දමයි, වාසනාවකට රුවන්ත අයියාට තවමත් මා කවුදැයි මත්ක් වී නැත.
“මේ මේ අයි… අයියේ පො… පො… ඩ්ඩ්ක් ඉස්සරහින් න…න..ත්තන්නකො… මේ හ…හදිසි මල…. ගෙ…ගෙ..යක්”
ගන්දරයා ගොත ගහයි. රුවන්ත අයියා පුදුමයෙන් බලා සිටියි, අඩියට දෙකට ප්‍රාඩෝ වෙන් බිමට පැනගත් ගන්දරයා කකුල් දෙකට පින් දෙමින් දුවගොස් ආපසු යන හෝමාගම බසයක එල්ලිනි……
ආලය කල මුත් පණට පණ සේ ස්ත්‍රි ජාතිය නෑ විස්වාසේ “යි කියන්නේ කට කහනවට නොවන බව ගන්දරයා දැනගත්තේ එදා ය


අන්තිම පේළියේ පළවූ කතාව 

Monday, July 18, 2011

තර්ක ශාස්ත්‍රය

යටගිය දවස වාතරාජධානිය නම් වූ එක්තරා
රාජධානියක් වන්නෙහිය. මේ මහා රාජධානියට අධිපතිව භවභෝග සම්පතින් ආඩ්‍යව, සිවු මහ බබුන්ගෙන් ලද විවරනයෙන් රටකරවන
වාතසේන  නම් රජකු අර්ථයෙන් ධර්මයෙන් රාජ්‍යය
විචාරයි. අසූ කෙලක් වූ හුදී ජනතාවද රටට රජතුමාගේ ද ,  බඩට තම තමා ගේද පිහිටයැ යි සිතා රජතුමාගේ
පිහිටෙන් තමන්ගේ වියදමෙන් බඩ කට ගැටගහ ගනිති.
මෑතක සිට අප මේ වාතසේන මහ රජතුමාගේ හිත
හරිනැත, වෙලාවකට රාජභෝජනයවත් හරියකට වලඳන්නේ
නැත. වැලඳුවත් හරියකට දිරවන්නේද නැත වෙලාවකට බලාගත් අතේ බලාගෙන සිටී. තනියෙම සුසුම්ලයි කෑම බීම තබා බිසවුන් වහන්සේ ගැනවත් බලන්නේ නැත. වෙනකක් තබා අන්තඃපුරයට අළුතෙන් ආ කෝමලී ගැනවත් ආසාවක් නැතිය.
වාතසේන රජතුමාගේ මේ විස්සෝපය වනාහි රටේ
ජනතාව නිසා නොවේය. මල් අම්මාගේ දුව සුන්දර එතනා බලන්නට යන්නට
නොහැකි වීම හෝ දංකැලේ නාමලීට අලුත් චීත්ත රෙද්දක් අරන් දෙන්නට අතේ පිච්චියක්
නැතිවීම නිසාද නොවෙම්හ. මේ වනාහී ශාස්ත්‍ර ඥානය පිලිබඳ වූ ගැටළුවකි.
බරණැස්පුර, බ්‍රහ්මදත්ත නුවර සිට වාතරාජධානියට පැමිණි වර්ධනමාන නම් වූ පඬියෙක්
රාජසභාවෙහි මැති ඇමතියන්ට තර්කානුකූලව හිතීම හෙවත් Logical Thinking
නම් වූ මොකක්දෝ අටල් පහුරක් උගන්නා ඇත. දැන් හැම එකාගේම කටේ තියෙන්නේ ඕකය.
අනෙකුන්ට කෙසේ වුවත් රජතුමාට නම් මෙය ගිරික් වගේය. මෙලෝ මගුලක් තේරෙන්නෙ නැත. කාගෙන්වත් අහන්නටද ලැජ්ජය… පශ්චත්තාපය ඕකය.
රජු මෙසේ විස්සෝපයෙන් සුසුම් ලමින්
සිටින සඳ වාතරාජ්ධානියේ අග්‍රපුරෝහිත තැන දිනක, හිමිදිරියේ පිබිද සුවඳ පැනින් නා ජෙල්  තලියක් හිස තවරා ප්‍රන්ස පුයරුද ඉතාලි සැන් ද
වත ගල්වා සූ සැට බරනින් සැදී රජු බැහැදකින්නට ගොස් වැඳ රාත්‍රී නිදිසුව විචාරා
එකත්පසව සිටී. මෙ සඳ වටපිට බලා පුරොහිත අමතන අප වාතසේන
රජ…..
“එබ්බා මචං පුරෝ… උඹ මේක කාගෙවත් කනේ
තියනවා එහෙම නෙවයි… මේක රාජකීය රහසක් “
පුරෝහිත තෙමේ ද රජකීය රහසට සවන් දෙම්හ
සිතා කන් සතරම දික්කොට හොම්බ රජු ලඟට ලංකළහ.
රජු ද කියැම්හයි සිතා පුරොහිතගේ හොම්බට
තම හොම්බ ලංකොට කියන වග නම්
” මේකයි මචං පුරෝ මට ඔය ලොජිකල් තින්කිය කියන
අණ්ඩර   දෙමලේ තේරෙන්නේ නැහැ නේ බාං”

“අයියෝ රජතුමා ඕකද මේ පුරස්නේ මම කියලා
දෙන්නම්කොයි” පවසා උදාහරණයක් ගෙන තර්ක සාස්තරය රජතුමාට පැහැදිලි කරන්නට වම්හ
ඒ කෙසේද යත්…
“රජතුමා…  මාලිගාවේ මාළු ටැංකියක් තියනවද”
“හ්ම් තියනවා ඉතිං….”
“එකේ මාළු ඉන්නවද….?”
“ඔව් ඉන්නවා ඉතිං”…!
“ඒ කියන්නේ ඒ ටැංකියේ වතුර හා කෑම
තියනවා”පුරෝහිත කියනවා රජතුමා බොහොම අවධානෙන්
අහං ඉන්නවා…
“ඒ කියන්නේ මාළු ටික ට කෑම වතුර දාන්න
කෙනෙක් ඉන්නවා …….. බොහෝ විට කාන්තාවක්”
“හරියට හරි…. හරියට හරි….. අපේ
දේවිය නොව ඕකුන්ට හැමදාම කන්ට දාන්නේ… උඹට කියන්න පුරෝ අපේ ඔය කුමාරයගේ ඕනකමටමයි
මං ඔය මාළු ටැංකිය ගෙනාවෙ… ”  රජතුමා උඩ පැනලා අප්පුඩියකුත් ගැහුවා
” ඒ කියන්නේ ඔබතුමා විවාහකයි කුමාරයකුත්
ඉන්නවා…”
“හරි”
” ඒ කියන්නේ ඔබවහන්සේ  heterosexual ඒ කිව්වේ කාන්තාවන් ගැන ආකර්සනය තියන කෙනෙක්” “අන්න දැක්කද රජතුමා මාලිගාවේ මාළු
ටැංකිය ගැන තර්කානුකූලව හිතලා මම ඔබවහන්සේ  heterosexual, කාන්තාවන් ගැන ආකර්සනය තියන කෙනෙක් කියලා කිව්වේ කොහොමද ?” ” ඔන්න ඕකට තමයි තර්ක සාස්තරේය කියන්නේ”
පුරොහිතය පාඩම ඉවර කොලහ.
රජතුමාට පාඩම ගැන මාර හැපිය.
පුරෝහිතටද  ඇතෙක් බරට තෑගි ලැබුණි. තර්ක සෑස්තරය ගැන රජතුමා බොහො සේ පැහැදී උන්හ. මාළිගාවේ මාළු
ටැංකියට සාස්තරය දමා දැනගත් දෑ මාරය.
වාතසේන රජ මෙසේ චිත්තඃප්‍රිතියෙන් ප්‍රබෝධයෙන්
යුක්තව කල් ගෙවන සඳ දිනක් රාජතාන්තිරික සංචාරයක් සඳහා අසවල් රාජ්ජ්යේ රජු
වාතරාජධානියට සැපත් වම්හ. වාතසේන රජද ආගන්තුක සත්කාරයෙහි කෙළ පැමිණ ආගන්තුක රජුට
බත බුලතින්ද සුවඳ පැනින් ද සංඟ්‍රහ කොට
සාමීචියේ යෙදී සිටින්නේ හි තමා උගත් අති අනර්ඝ සෑස්තරය ගැන තම දැනුම
ආගන්තුක රජුට පෙන්වන්නට අප වාතසේන රජුට හිතක් පහල විය
ඔන්න අපේ වාතසේන රජතුමා  තර්ක සෑස්තරේ ගැන බොහොම ලොකු වර්ණනාවක් කරා….. ආගන්තුක රජාත් කට ඇරගෙන ….
වාතසේන රජ්ජුරුවන්ට දැන් බොහොම ප්‍රීතියි
ආගන්තුක රජා පුදුම කරවන්න හිතාගෙන අපේ වාතසේන රජතුමා
තර්ක සෑස්තරෙන් උදාහර්ණෙකුත් ගත්තා….
වාතසේන රජ්ජුරුවෝ අහනවා ආගන්තුක රජාගෙන්

ඔබතුමා ගේ මාළිගාවේ මාළු ටැංකියක් තියනවා නේද…….?
අපොයි නැහැ නේ…………….!!!!

හෑ…..හ්ඃ ඒ කියන්නෙ ඔබතුමා HomoSexual
@#$%^&**



  අන්තිම පේළියේ පළවූ කතාව


Thursday, July 7, 2011

අමුඩය

සංජීව එහෙම නැත්නම් අපි කවුරුත් ආදරේට කියන්න වගේ සංජි අයියා කියන්නේ කවුරුත් බොහොම ආදරේ කරන හිත හොඳ
මනුස්සයෙක්. ගන්දරයට මේ හිත හොඳ මනුස්සයාව හම්බ වුනේ, ගන්දරයා හා හා පුරා කියලා රස්සාවට ගිය ආයතනයේදී. මේ ආයතනයේ පරිඝනක
අංශ ප්‍රධානියා සිංහලෙන් කියනවා නම් Head of IT  වෙලා හිටියේ මේ සංජි අයියා. මුලින්ම කිව්වා වාගේ
සංජි අයියා කා අතරත් බොහොම ජනප්‍රිය ඉතාම නිහත්මානී තමන්ගෙ රාජකාරිය කවදත්  අකුරට ඉටුකරන නිලධාරියෙක්. නමුත් මේ සංජි අයියට
එකපාරටම මේ ආයතනයෙන්  ඉවත් වෙන්න සිදුවුනා.
ඒකට හේතු වුනේ බොහොම පොඩි සිද්ධියක්. ඉතින් මෙන්න මේ කතාන්දරය තමය් මම කියන්න
යන්නේ ඒක නිසා මේක හිනා යන කතාවක් නම් නෙවෙයි

මේ සිද්ධිය සිදුවෙද්දී ගන්දරයා පළවෙනි
රස්සාවට ගිහිල්ලා යන්තම් හයමාසයක් පිරුනා විතරයි. මේ කාලේ තමයි මේ ආයතනයේ ඉහලම අධ්‍යක්ෂක
මඩුල්ල තීරණය කලේ ආයතනයේ අංශ දෙකක සේවක සේවිකාවන් එක්දින පුහුණු වැඩමුළුවක් සඳහා
සහභාගී කරවන්නට. මේ සඳහා තෝරා ගෙන තිබුනේ පරිඝණක අංශය සහ පාලන අංශය පැහැදිලිව
කිව්වොත් IT හා  Admin අයව

වැඩමුළුව තිබුනේ සෙනසුරාදා දවසක,
තරු පහේ හෝටලයක, වැඩමුළුවේ මාතෘකාව “පෙට්ටියෙන්
එලියට සිතීම” හෙවත් ” Thinking
out of the box”  ඔන්න දැන් සංජි අයියා පෙරටු කොටගත් IT  එකේ කට්ටිය රවුම් මේස වටේ
වාඩිවෙලා සිංහලෙන් කතාකොර කොර ඉන්නවා. Admin එකේ කොටට ඇඳපු ගෑනු ලමයි ටික ඉංග්‍රිසියෙන්
කතාකොර කොර ඉන්නවා , ගන්දරයත් දියෙන් ගොඩදාපු මාළුවාවගේ
ඉන්නනවා, ගන්දරයා ඔය තරු පහේ හෝටලයකට ගියාම නෙව.

වැඩමුළුව පටන්ගත්තා. එකේ ප්‍රධාන දේශක
වුනේ ජැක් කියලා මහත්තයෙක්,
වැඩේ යන්නේ ඉංගිරිසියෙන්

නම ජැක් උනාට මේ මහත්තයා උපතින් හොඳ
ආරිය සිංහලලු… ජැක් කියන්නේ හුරතලේටලු… මේ මහත්තයා පොඩි පොඩි ක්‍රියාකාරකම්
ගොඩක් එක්ක තමන්ගේ දේශනය කරගෙන ගියා කොහොමද “වෙනස් විදියට හිතන්නේ කියලා

හැබැයි මේ ජැක් මහත්තයගේ දේශනය එතන
හිටපු ඉංග්‍රිසි පන්නේ කොටට ඇඳපු පොෂ් ගෑනු ළමයි දෙතුන් දෙනෙකුට ඇරෙන්න අනෙත්
කාටවත් වැඩිය ප්‍රියමනාප උනේ නම් නැහැ….

මොකද මේ ජැක් මහත්තයා පටන් ගත්ත තැන ඉඳන්ම වෙනස්
වෙනස් වෙන්න ඕන කිය කිය කෑ ගැහුවේ අපේ මේ ලංකාවේ අපි හොඳයි කියන සංස්කෘතිය….

අම්මට තාත්තට වදින එක පවා වැරදියි දෙයක් විදියට
මේ මහත්තයා පෙන්නලා දුන්නා… තව හාමුදුරුවන්ට විවාහ වීමේ අයිතිය දීම, ඉඳලා හිටලා තමන්ගේ සහකරු / සහකාරිය මාරු කරගැනීම  වගේ බොහොම බැරෑරුම් දේවලුත් මේ ජැක් මහත්තයා
සරළව කියලා දුන්නා..

මේ දේශනා අතරේ දී ජැක් මහත්තයා හුඟක්
වෙලාවට මොනවාහරි දේකට උදාහරණයක් ඕන උනාම ගත්ත උදාහරණය තමයි “ගම්වල ඉන්න
අමුඩේ ගහපු මෝඩ ගොවියෝ”

ඊට අමතරව එතුමාගේ ක්‍රියාකාරකම් සමහරක්
සමාජ සම්මතයන්ට පටහැනි ලෙස පිළිගත් දේවල්…. ඒවා නම් බොහෝ දෙනාගේ දැඩි විරෝධය
නිසා නවතා දැමුනා..

කෙටියෙන්ම කිව්වොත් එදා අපි කෑවේ
ඉස්සෙල්ලම් අතුරුපස ඊළඟට බත් අන්තිමටම සුප්… අපි බයේ හිටියේ වෙනසකටත් එක්ක කටින්
නැතුව වෙන කොහෙන්වත් කන්න කියයි කියලා….. වාසනාවකට ජැක් මහත්තයට ඒවෙනස මතක් උනේ
නෑ…

කොහොමින් කොහොමහරි ඔන්න දැන් දවස
ගෙවිලා ගිහින් වැඩ්මුළුවේ සමාප්තියට ආවා අන්තිමටම තිබුනේ ස්තූති කතාව ඒක පැවරිලා
තිබුනේ Admin එක වෙනුවෙන් කොටට ඇඳපු ගෑනු ලමයෙකුට හා IT එක වෙනුවෙන් සංජි අයියට.

මුලින්ම අර ගෑනු ලමයා ගිහිල්ලා බොහොම
චතුර ඉංග්‍රිසියෙන් ජැක් මහත්තයට ස්තූති කළා නොදනා බොහෝ දෑ ඉගෙනගත් බවත් හෙට සිටම
එවා ක්‍රියත්මක කරන බවත් ඇය කියුවා “හෙට සිට නොවේ මේ දැන් සිටම” ජැක්
මහත්තයා පොඩි නිවරදි කිරීමකුත් කළා…

ඊළඟට අපේ සංජි අයියා… හෙමින් ඉස්සරහට
ගියා ගිහින් බොහොම පැහැදිලි සිංහලෙන්ම කතාව පටන් ගත්තා

“මේ වගේ තමන්ගේ වටිනා කාලයෙන් දවසක්ම
අපි වෙනුවෙන් කැපකරපු එකට ජැක් මහත්තයාට බොහොම ස්තූතියි ඒ වගේම මේ ජැක් මහත්තයගේ
දේශනය අහගෙන හිටියම මටත් මතක් උනා පොඩි කතාවක්…..  වෙනසකටත් එක්ක මම මේ කතාව සිංහලෙන්ම
කියන්නම්… මේකත් අමුඩ ගැන කතාවක්”

මෙතන ඉන්න අය හුඟ දෙනෙක් අමුඩය කියන
ඇඳුම දැකලා ඇති නොදන්න කට්ටියටත් එක්ක මම ආයෙත් කියන්නම් ….. අමුඩෙට කොටස් දෙකක් තියනවා එකක් තමයි දිය ලනුව අනිත් කෑල්ල අමුඩ
ලේන්සුව… දිය ලනුව ඉන වටේ බැඳලා අමුඩ ලේන්සුව මැදින් එල්ලෙන්න දාලා තමයි අමුඩය
අඳින්නේ…..

දවසක් එක්තරා ගමක ඉන්න අමුඩේ ගහන මෝඩ
ගොවියෙකුට හිතුනළු හැමදාම එකම විදියට ඉන්න හොඳ නැහැ out of the box හිතලා ටිකක් වෙනස් විඩියට අමුඩේ ගහන්න ඕන
කියලා….

මෙහෙම හිතලා හැමදාම අඳින විධියට නැතුව
අමුඩ ලේන්සුව ඉන වටේ ගැට ගහලා දිය ලනුව දැම්මලු පහලට එල්ලෙන්න…

ඊට පස්සේ බොහොම ආඩම්බරෙන් තමන්ගේ
මායියා ගාවට ගිහින් අහනවලු කොහොමද වෙනස කියලා

මායියත් ටික වෙලාවක් බලගෙන ඉඳලා බොහොම
බැරෑරුම් විදියට කියනවලු

වෙනස නම් හොඳයි…… හැබැයි ගොයියෝ කූට්ටම නම් එළියේ……..

ඒ වගේ වෙනස් වීම හොඳයි හැබැයි කූට්ටම එලයේ දාගන්නේ නැතුව” සංජි අයියා කතාව ඉවර කලේ එහෙම කියලා

ජැක් මහත්තයාගේ විතරක් නෙවි අධ්‍යක්ෂක
මණ්ඩලේ කීප දෙනෙකුගෙම මූණූ හැකිලුනත් බොහෝ දෙනා ඒ වෙලාවේ ඒ කතාව අනුමත කළා සංජි අයියට විනය පරීක්ෂණ දෙක තුනක්ම තිබුනා
බොහොම කෙනෙහිලි කම් උනා අන්තිමේ දී සංජි අයියා මේ සිද්ධිය නිසාම ආයතනෙන් සමුගත්තා.

ඔන්න ඕකයි කතාව …..!!!

මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිත
බව කරුණාවෙන් සළකන්න.

මෙලෝ රහක් නැති කතා කියන්න ගිහින් මාත් කූට්ටම එලියේ දාගත්ත ද මන්දා…!

  අන්තිම පේළියේ පළවූ කතාව