function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Tuesday, October 30, 2012

සිහිනය දිගේ.... (5 කොටස )



 උදෑසන සීතල දරාගෙනම හර්ෂණ නිවසින් එළියට බැස්සේ නාන තොට පැත්තට යන්න සිතාගෙන. නිවස පිටුපසින් ගලායන කෙහෙල්ගමු ඔය පහරේ සුන්දරත්වය විඳිමින්, ඔහු ඇවිදගියේ අරමුණකින් තොරව.

  හර්ෂණ, මාලිනීගේ නිවසට පැමිණ මේ වන විට දින තුනක් ගෙවී ඇත. මේ දින තුන පුරාම ඔහු කලේ හොඳ හැටි නිදාගැනීම පමණි. ඡන්ද උණුසුම කෙමෙන් පහව යමින් තිබූ නිසා පුවත්පතක වත් විශේෂ සිදුවීමක් නැත. මැතිවරණය  දා සිදුවූ ඝාතන සම්බන්ධව මහේෂ්ගේ ආරක්ෂකයන් දෙදෙනෙකු අතඩංගුවට ගෙන තිබුනද තවමත් ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු නිසියාකාරව ආරම්භ වී නැත. හර්ෂණට දුරකථන ඇමතුම් ලබාගැනීම පවා තහනම් කර තිබුනෙන් කොළඹ සිදුවන්නේ කුමක්දැයි හරියටම කියන්නට හර්ෂණ හෝ විරාජ් දෙදෙනාම දැන සිටියේ නැත.

 

තමා කොළඹ සිට හිරේට ගියා නම් මීට වඩා දහස් ගුනයක් හොඳයැයි හර්ෂණට සිතුනේ වරක් දෙවරක් නොවේ, අඩුම තරමේ එසේ වූවා නම් කතාකරන්නට වත් නිදහස ඇත, හිරේ නොගියත් දැන් මේ සිටින්නට සිදුවී ඇති විදිය හිරේ ගියාට අන්තය . තුසිත වනිගසූරියගේ මරණයට තමා වගකිව යුතුයැයි කිසිදු පසුතැවීමක් ඔහුට නැත. හර්ෂණගේ මතය තමා අවස්ථාවට ගලපෙන ලෙස ක්‍රියා කලා මිස තුසිත වනිගසූරිය මරා දැමීමේ අදහසක් තමා තුල නොවූ බවයි. එහෙයින් කිසිවිටෙකත් ඔහු තුල වරදකාරී හැඟිම් හෝ පසුතැවීමක් ඇතිවූයේ නැත.

Wednesday, October 24, 2012

සිහිනය දිගේ.... (4 කොටස )

    හවල් කෑමෙන් පසුව හර්ෂණත් විරාජුත් තනුජාත් නාන්නට ගියෝය. මාලිනීගේ නිවසට පිටුපසින් ගලා යන්නේ කෙහෙල්ගමු ඔයයි. මේ ඔය පහරේ මඳක ඉහලට ගිය තැන නාන තොටක් ඇත. පිරිස නාන්නට ගියේ මේ නාන තොටටය.

හර්ෂණ සොබා සෞන්දර්යය විඳින්නට බොහෝ කැමතිය. හොඳින් ඉර පායා තිබුණු බැවින් අවට කඳු වලල්ල වට කර ගෙන ගලා බසින ඔය වඩා ලස්සන ව පෙනුනි.

Monday, October 22, 2012

සිහිනය දිගේ.... (3 කොටස )

 

සීතල කඳුකරයට ඉර පායන්නේ පමා වීය. හර්ෂණට ඇහැ ඇරෙන විට පසුදා උදෑසන නවය පමණ වී තිබිණි. එක්වරම ඔහුට තමා මේ සිටින්නේ කොහේදැයි සිතාගත නොහැකිවිය. ඊයේ සිදුවූ සිදුවීම පෙළ ඔහුගේ මතකයට ගලා ආවේ සෙමිනි. ඒ සිතුවිලි අවසානයේ ඔහුගේ මුවින් සුසුමක් නැගුනේ තමා අද සිට හර්ෂණ නොවන බව මතක් වීමෙන්. ඔහු පොරවාගෙන සිටි රෙද්ද ඉවත් කරමින් නැගිට්ටේය. තමා පුටුව උඩ නින්දට වැටී සිටියදී කවුදෝ රෙද්දක් පොරවා ගොස් ඇත. බොහෝ විට ඒ තනුජා වන්නට ඇත.

Thursday, October 18, 2012

සිහිනය දිගේ.... (2 කොටස )



"සුදු බේබිට නින්ද ගිහින්ද"

පිටුපස හැරුණු තෙන්නකෝන් ඇසුවේ දෑස් පියාගෙන පිටුපස අසුනේ සිටි හර්ෂණගෙනි. හිතවතුන් බොහෝ දෙනා හර්ෂණට කතා කලේ සුදු බේබි යන ආදර නාමයෙන්

"නැහැ තෙන්නකෝන් අංකල් මම අවදියෙන් ඉන්නේ"

"දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ සුදු බේබි, විරාජ් පාරට ඇවිල්ලා ඇති"

හර්ෂණ ඔරලෝසුව දෙස බැලීය, වේලාව අළුයම එක පසුවී විනාඩි හතලිහක් ගතව තිබිණි.  මාර්ගය පාළුය, පැය කිහිපයක් පුරාවට ඇදවැටෙමින් තිබුණු වැස්ස දැන් තරමක් තද කර ඇත.

තෙන්නකෝන් මඟ දෙපස විමසිල්ලෙන් බලාගෙන ගියේ විරාජ් දකින බලාපොරොත්තුවෙනි, මාලිනීගේ නිවස පිහිටියේ මෙම මාර්ගයේ සිට කිලෝමීටරයක් පමණ ඇතුලට වන්නටය. මීට පෙර කිහිප වරක් පෙහි පැමිණ තිබුනත්,තෙන්නකෝන් සිටියේ මාලිනීගෙ නිවසට යායුතු අතුරු මාර්ගය හරි හැටි සොයාගැනීමේ අපහසුවෙනි.

කුඩයකුත් ඉහලාගෙන විදුලි පන්දමකුත් අතැතිව වැස්සේම පාරේ සිටගෙන සිටින විරාජ්ව මුලින්ම දුටුවේ හර්ෂණ.

"අහ් ඔය ඉන්නේ අංකල් විරාජ්"

රථයේ විදුලි පහන් වල සංඥාවට විරාජ්ගේ අතෙහිවූ විදුලි පන්දමෙන් පිළිතුරු ලැබුනෙන් වෑන් රිය නැවතුනි.

"එහෙම්නං සුදු බේබී මේ කරදර ටිකක් එහේ මෙහේ වෙනකම් ටිකක් වහං වෙලා ඉන්න"

තෙන්නකෝන් කිව්වේ බහින්න සූදානම් වූ හර්ෂණටය

"අංකල්ලා දැන් කොහාටද යන්නේ"

"අපි දැන් යනවා මාරතැන්න ලොයර් උන්නැහේලයි ගෙදරට.... ඒ ගිහින් හෙට උදේම ආපහු කොළඹ යනවා"

හර්ෂණ වෑන් රියෙන් බැස විරාජ්ගේ කුඩය යටට උනේ තෙන්නකෝන්ට සමුදෙමිනි. තෙන්නකෝන් පිටව ගිය පසු විරාජ් හා හර්ෂණ කුඩා අතුරු මාර්ගය ඔස්සේ නිවස කරා ගමන් ආරම්භ කලහ.

"මොකක්ද සුදු බේබි උනේ"

විරාජ්  කතාව ආරම්භ කලේ රහසින් මෙනි

"වනිගසූරියලත් එක්ක පොඩි ගෝරියක් දාගත්ත නේ බං"

හර්ෂණ පිළිතුරු දුන්නේ සිනහවෙමිනි

"මං ඇහුවේ බේබි,කොයි පැත්තෙද වැරැද්ද... උන්ද අපි ද ඉස්සෙල්ලා ගේම පටන් ගත්තේ."

විරාජ් ඇහුවෙත් හර්ෂණගේ සිනහවට එකතු වෙන අතරතුර

"පොලිටික්ස් වලදි කොහේද බං හරි වැරදි, දෙගොල්ලොම වෙපන් තියාගෙන හිටියේ... අපි ටිකක් ඉක්මන් උනා... එච්චරයි. " යි කිව් හර්ෂණ උදේ සිටම සිදුවූ සිදුවීම් විරාජ්ට විස්තර කලේය.

විරාජ්, පෞද්ගලික ආරක්ෂකයකු ලෙස විජේසේකර ඇමතිවරයාගේ ආරක්ෂක අංශයට එක්වූයේ මෙයට අවුරුදු පහකට පමණ පෙරය. හිටපු යුධ හමුදා නිලධාරියෙක් වූ විරාජ්, හමුදාවෙන් ඉවත්ව විජේසේකර ඇමතිවරයාට එක්වූ දින සිටම සේවය කලේ හර්ෂණගේ ආරක්ෂකයකු ලෙසය. මේ නිසාම විරාජ් හර්ෂණට වඩා වසර හත අටක්  වැඩිමහළු වුවද ඔවුන් දෙදෙනා ඇසුරු කලේ කළණ මිතුරන් ලෙසය. මේ කාර්යය උදෙසා විරාජ්වම තෝරා ගැනුනේත් ඒ මිතුරු කම නිසාමය.

කතාවෙන් කතාවෙන්ම ඔවුන් මාලීනී ගේ නිවසට ලඟා වුහ. මාලීනීත්, ඇගේ දියණිය තනුජාත් දෙදෙනාම සිටියේ අවදියෙනි. කාලයකට පසුව තම නිවසට පැමිණි හර්ෂණව මවත් දුවත් පිළිගත්තේ සාදරයෙනි.

 

"ආනේ සුදු පුතා....., කුඩ අරගෙන ගිහිල්ලත් හොඳටම තෙමිලා නෙව" මාලිනි කිව්වේ ඥාති පුත්‍රයා  දෙස ආදරයෙන් බලමිනි

"මල්ලී තව සුදු වෙලා මහත්නුත් වෙලා" තනුජා කිව්වේ මවට එක්වෙමින්

"දුව මල්ලිට ඔළුව පිහිදාගන්න තුවායක් ගෙනත් දෙන්න.... මම කට්ටියටම කෝපි හදන්නම්" මාලිනි කිව්වේ කුස්සියට යන අතරතුර

"නංගී ඔයාගේ ෆෝන් එකෙන් මාරතැන්න මිස්ට කෝල් එකක් දෙන්න" විරාජ් කිව්වේ තනුජාටය.

 

හර්ෂණත් සෙසු පිරිසත් අතර පණිවුඩ හුවමාරුව සඳහා ඔවුන් සැලසුම් කර තිබුනේ තනුජා සහ නීතිඥ මාරතැන්න ගේ බිරිඳ සම්බන්ධ කරගෙනය. හර්ෂණ ජංගම දුරකථනයක් නොගෙනාවේ වැඩි ආරක්ෂාවටය.

දුරකථනයේ බොත්තම කිහිපයක් එබූ ඇය එය කනේ තබා ගත්තාය. රින්ග් වෙනවායි ඇය විරාජ්ට කිව්වේ හිසිනි.

 

"ආ....මිස් නිදිද, චන්ද ප්‍රතිඵල බලනව ද"

"ඔව් මිස් අපිත් තවම නිදි නැහැ විරාජ් අයියත් දැන් තමයි ගෙදරට ආවේ"

"ඔව් ඔව් මිස් විරාජ් අයියා පරිස්සමින් ආවා"

විරාජ්ට අනෙක් පසින් කියන්නේ මොනවාදැයි නොඇසුනත් අවශ්‍ය පනිවිඩය නිසියාකාරව ලැබුණු බව ඔහුට පසක් විය. හර්ෂණ ගේ නම නොකීවත් මාරතැන්නගේ බිරිඳ එය වටහා ගනු ඇත.

 

හර්ෂණ මේ නිවසට ආවේ වසර පහකට පමණ පසුවය. ඉතාම පරණ පන්නයේ වූ මේ කුඩා නිවස මාලීනීගේ සැමියාගේ මහගෙදරය. කාමර දෙකකින් කුස්සියකින් හා කුඩා සාලයකින් සමන්විත නිවසේ ඉදිරිපස කොටස භාවිතා උනේ මාලිනීගේ සිල්ලර කඩය පවත්වාගෙන යාමටය.

වෙලාව අළුයම දෙක පසුවී තිබුනත් විරාජ්ටත් හර්ෂණටත් දෙදෙනාටම නිදාගැනීමේ අවශ්‍යතාවක් තිබුනේ නැත. සාලය මැද තැබූ කුඩා රූපවාහිනිය ඉදිරිපිටට වූ දෙදෙනාම ඡන්ද ප්‍රතිඵල අසා සිටියේ උනන්දුවෙනි. කෝපි පානයෙන් පසුව මාලිනී නිදන්නට ගියත් තනුජා නින්දට ගියේ ඡන්ද ප්‍රතිඵල නරඹමින් ටික වෙලාවක් ඔවුන් සමඟ ගත කිරීමෙන් පසුවය.

රූපවාහිනිය දෙසම නෙත් නොහෙලා බලාසිටි හර්ෂණ, උදෑසන හතරට පමණ හිඳ සිටි පුටුව මතම  නින්දට වැටුනේ නොදැනුවත්වම.

 

Monday, October 15, 2012

සිහිනය දිගේ.... (1 කොටස )

 

 අවිස්සාවේල්ල කොළඹ මාර්ගය පාළුවට ගොස් ඇත. ඉඳ හිට හමුවන වාහන දෙක තුනද පොලිස් හෝ හමුදා   වාහනය. දහවල පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් ඇත්තේ දැන්ය. මාර්ගය පාළුවට ගොස් ඇතත් කිසිවෙක් තවම නින්දට ගොස් නැතැයි හර්ෂණ සිතාගත්තේ මග දෙපස නිවෙස්වල තවමත් දැල්වෙන විදුලි පහන් නිසාය. ඔවුන් ඡන්ද ප්‍රතිඵල නරඹනවා විය යුතුය.  තවමත් නිකුත් වී ඇත්තේ ආසන කීපයක ප්‍රතිඵල පමණක් වුවද සමස්ත ප්‍රතිඵළය කෙසේ ද යන්න හර්ෂණ විජේසේකර  මේ වනවිටත් දැන සිටියේය. වසර දාහතක් පුරා බලයේ සිටි රජය බිඳවැටෙමින් විපක්ෂය විශිෂ්ඨ ජයග්‍රහනයකට මුල පුරමින් තිබුනි. හර්ෂණ විජේසේකර ලොවටම රහසින් මේ සඟව යන්නට යත්ත දරන්නේද එහෙයිනි.