function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Thursday, December 11, 2014

මායාවී


එකවරම නැගුනු සිනහව මට පාලනය කරගැනීමට නොහැකි වූයෙන්, මුවට ගත් තේ උගුර, උකුලේ සිටි දියණියගේ මුහුනත් තෙමාගෙනම එළියට පැන්නේ ය.

"ඊයා... තාත්තී...." යි කියමින් උකුලෙන් බිමට බට සිඟිති දියණිය, අප්‍රසාදයත් විශ්මයත් මුසුවූ බැල්මකින් මොහොතක්  මගේ මුහුන දෙස බලා සිටියාය.

අනතුරුව "අනේ අම්මී....." යි කෑගසමින් ඇය කුස්සිය දෙසට දිවගියේ  සිදුවූ දෑ මවට පැමිණිලි කිරීමටවිය යුතුය.

 

රූපවාහිනිය දෙසටම අවධානය යොමුවී තිබුනා මිස දියණියට වූ අකරතැබ්බය හෝ මට සිදුවූ වැරදීම පිළිබඳව මට වගේ වගක් තිබුනේ නැත. නවතාගත නොහැකි තරමට සිනහ වෙමින් සිටි මට පුදුමයෙන් මාදෙස බලාසිටින බිරිඳ හෝ ඇය වඩා සිටින කෝපගත් දියණිය හෝ  පෙනුනේද නැත.

"අනේ ඇත්තටම ඔයාට පිස්සුද හර්ෂ...? උදේ පාන්දර මේ ටී වී එක දිහා බලාගෙන මෙහෙම හිනාවෙන්නේ"

නවතාගත නොහැකි සිනාවෙන් සිටි මා යන්තම් පියවි සිහියට පැමිණියේ බිරිඳගේ ඒ කෑගැසුමත් සමඟය.

"ඒකත් මේ කොමඩි ප්‍රෝග්‍රම් එකක් නම් කමක් නෑ.. මේ පොත් දොරට වැඩීමේ වැඩ සටහනක් බලබල ඔහොම හිනාවෙන්නේ... පිස්සු හැදීගෙන එනවද?"

මා පමණක් නොව කාංචන මේ මොහොතේ රූපවාහිනිය බලා සිටිනවා නම් ඔහු ඇත්තේද බඩ අල්ලාගෙන සිනහවෙමින් බව නිසැකය. නමුත්  කලකට පෙර සිදුවූ ඒ සිදුවීමේ අගක් මුලක් සිතාගැනීමට නොහැකි වූ මගේ බිරිඳට, රූපවාහිනියෙන් පොතක දොරට වැඩුමක් නරඹමින් මා  මෙතරම් සිනහ වීමට හේතුව වටහා ගැනීමට නොහැකිවීම අරුමයක් නොවේ. ඇය පමණක් නොව මෙය කියවන ඔබ වුවද මගේ මේ අරුම පුදුම හැසිරීම හේතුවෙන් පුදුමයට පත්වී ඇතිවාට සැක නැත.

මම කතාව මුල සිටම කියන්නේමි. අවධානයෙන් අසා සිටින ලෙස මම ඔබට කියමි. කතාව අවසානයේ උපහාසය තුල සැඟවුනු නිර්ලජ්ජිත බව හඳුනාගැනීමට ලැබුනහොත්, ඔබේ මුවටද සිනහවක් නැගෙනු නිසැකය.

මම හර්ෂ පෙරේරා වෙමි. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක්වූ මා මේ සිදුවිම සිදුවන අවධියේඅවුරුදු විසි හතක අවිවාහක තරුණයෙක්විමි. අප අවුරුදු දහයක හෝ පහළොවක පමණ කාලයක සිටම පදිංචිව සිටියේ මොරටුව ප්‍රදේශයේ කුලී නිවසකය. සිව්වසරකට පමණ පෙර සිදුවූ පියාගේ අභාවයෙන් පසුව අම්මාත් මමත් මේ නිවසේ බොහොසෙයින් ඒකාකාරී වූජීවිතයක් ගත කරමින් සිටියෙමු.

අපි දෙදෙනාගේ මේ ඒකාකාරී ජීවිතය තුල එදිනෙදා ජිවීතයේ ගැටළු හැරෙන්නට විසඳාගත නොහැකි තරමේ ජීවන හැල හැප්පීම නොමැති තරම් යැයි කිවහොත් එය අතිශෝ‍ය්ක්තියක් නොවෙ. විශ්‍රාමික ගුරුවරියක් ලෙස අම්මාත් මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස මමත් ලබාගත් සමාජීය හා ආර්ථික ස්ථාවරභාවය තුල අප ගතකලේ මධ්‍යම පාන්තික දිවි පෙවෙතකි.

මෙකල අම්මාගේ සිත පීඩාවට පත්කල කරුණක් තිබුනා නම් ඒ එකම එක දෙයක්පිළිබඳව පමණි. ඒමගේ විවාහයයි. නෑදෑයන් මිතුරන් අසල්වැසියන් පමණක් නොව මඟ තොටේදී හමුවන අය සමඟ පවා ඇය කතාකල එකම මාතෘකාව, මට සුදුසු මනාලියක් සෙවීමයි. අම්මාගේ පෙරෙත්තය නිසාම මනාලියන් කිහිප දෙනෙක් බලන්නට ගියඅවස්ථා තිබුනද ඒ එකදු යෝජනාවක්හෝ මා සිත්ගත්තේ නැත.අම්මා කැමති වූ බොහෝ මනාලියන්ට කුමක්හෝ සුළු අඩුපාඩුවක් පෙන්වමින් මම අකමැති වීමි, සමහරවිට ඒ මම ඔවුන් සියළු දෙනාගෙන්ම දිල්කිව සෙවූ නිසා වන්නටද ඇත.

දිල්කි, දෑ අවුරුද්දකට පෙර මගේ ආදරණීය පෙම්වතිය. අපි මුලින්ම හමුවුනේ විශ්ව විද්‍යාලයේ සිටියදීය. ඇය ජීව විද්‍යා අංශයේත් මම පරිඝණක අංශයේත් ලෙස පීඨ දෙකක ඉගෙනුම ලැබුවත් ඇගේත් මගේත් ඇසුරට එය බාධාවක් වුයේ නැත. පළමුව මගේ ළබැඳි මිතුරිය ලෙසත් පසුව ආදරණීය පෙම්වතිය ලෙසත් තෙවසරක්පුරා ඇය මගේ ජිවීතයට එක් කල දෑ බොහොමය.

නමුත් පුරා තෙවසරකට පසු අපේ සබඳතාවය කිසිවෙකුත් නොසිතූ පරිද්දෙන්බිඳී ගියේය. දිල්කි ඉතා රූමත් යුවතියකි, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පවුලක එකම දියණිය වූ ඇය ගතකලේ ඉතා සුඛෝපභෝගී ඉහළ පාංතික දිවි පෙවතකි. පෙම්වතියක ලෙස ඇය කෙතරම් නිහතමානී වුවත් විවාහය යන බැඳීම හමුවේ ඇගේ පවුල් පසුබිම සහ මගේ පවුල් පසුබිම අතර වෙනස අහසට පොළව මෙන් බව අප දෙදෙනා විසින්ම අවබෝධ කරගනු ලැබුවේ බොහෝ කාලයක් ගතවීමෙන් අනතුරුවය.අවසානයේදෙදෙනාගේම එකඟතාවයෙන් අපේ පෙම් සබඳතාවයට නැවතීමේ තිත වැටුනේය. තවදුරටත් අපි පෙම්වතුන් නොවුවද  දෙදෙනා අතර වූ මිතුදම එයින් බිඳීගියේ නැත. එදා මෙන්ම අදත් මට සිටි විශ්වාසවන්තම මිතුරිය දිල්කිය.

මේ සිදුවීම ආරම්භ වූ ආකාරය එදා මෙන්ම මේ මොහොතේත් පැහැදිළිවම මගේ මතකයට නගාගත හැකිය. එදා අඟරුවාදා දිනයකි. දවසේ සියළු රාජකාරී අවසන් කර මම එදා නිවසට පැමිණියේ රාත්‍රී හතට පමනය.මගේ කුඩා මෝටර් රථය ගේට්ටුවෙන් වත්තට ඇතුළු කරද්දීම, නිවසට අමුත්තකු පැමිණ ඇති බව මට දකින්නට ලැබුනි. 

"හා සනා... කම් කම් අපි මේ බලාගෙන හිටියේ සන් ගෙදර එනකම්..."

පැමිණ සිටියේ ගලගෙදර අන්කල්ය.

ඔහු මා දුටු සැනින් කෑ ගසා පැවසූවේ වෙනදා නොවන තරමේ උද්‍යෝගයකිනි. ගලගෙදර අන්කල් යනු අපේ අසල්වැසියෙකි. ඔහු තම බිරිඳ ද සමඟ පදිංචිව සිටියේ අප සිටි නිවසට තරමක් ආසන්නයේ පිහිටි වෙනත් නිවසකය.දරු මල්ලන් කිසිවෙකුගෙන් තොරව හුදකලා දිවියක් ගතකල ඔවුන් දෙදෙන මට සැලකුවේ ඔවුන්ගේම දරුවෙක්ට මෙනි.සතියකට වරක් දෙවරක් කැඩෙන ඔහුගේ පැරණි ලැප්ටොප් පරිඝණකය මා ලවා සාදවා ගැනීමට ඔහු අපේ නිවසට පැමිණීම හෝ මම ඔවුන්ගේ නිවසට යාම සාමාන්‍යෙන් සිදුවූ දෙයකි. එවැනි අවස්ථාවල පැය ගනන් ඔහු සමඟ දේශපාලනය සාහිත්‍යය සමාජය පිළිබඳව සංවාද වලට පැටලීමද ඒ හා සමානවම සාමන්‍යයෙන් සිදුවූ සිදුවීමකි.

නමුත් එදා නම් ඔහු පැමිණ ඇත්තේ වෙනදාට වඩා වෙනස් කාරණයකට බව ඔහුගේ අතේ සුපුරුදු ලැප්ටොප් පරිඝණකය වෙනුවට ඇති කේන්දර සටහන දැකීමෙන් මම දැන ගතිමි.

" අද නම් ඔන්න අපි ආවේ සුභ ආරංචියකුත් අරගෙනමයි."

මා ගෙට ගොඩ වෙද්දීම ඔහු සිනහමුසු මුහුණින් පැවසුවේය.

 ඔහුගේ සුභ ආරංචිය කුමක්දැයි ඔහු කියන්නට පෙරම මට සිතාගත හැකිවූයේ නිවසේ ඉදිරිපසට වී සිනාසෙමින් පෙරමග බලාසිටින අම්මාගේ සිනා පිරුණු මුහුන දැකීමෙනි.

"මේ ගලගෙදර අංකල් පුතාට ප්‍රොපෝසල් එකක් ගෙනැල්ලා..."

අම්මා බොහො ප්‍රීතිමත් කටහඬකින් පැවසුවාය.

ඔහුගේ කතාවට සාවධානව සවන්දෙන බව පෙන්වීමට මම ගලගෙදර අංකල් ඉදිරිපිට වාඩිවූවෙමි. යෝජනාව පිළිබඳව එතරම්ම විශ්වාසයක් සිතේ නොමැති වූවත් ඔහු කෙරෙහි ඇති ගෞරවය හේතුවෙන් ඒ බව නොපෙන්වා ඔහුගේ කථාව සාවධානව අසා සිටින බව පෙන්වීමට මම උත්සාහ ගතිමි.

"කේන්දර එහෙමත් හරි අපූරුවට ගැලපෙනවා. ධම්මවංස හාමුදුරුවෝමයි කේන්දර බලලා තියෙන්නේ. කිරි මුහුදට හඳ පෑව්වා වගේ කියලා හාමුදුරුවන්ගේ කටින් නිකංම පිටවුනාලු කේන්දර දෙක දැක්ක ගමන්... නේද මිසිස් පෙරේරා..."

ගලගෙදර අංකල් තමන් පවසන දේ වඩාත් තහවුරු කරන්නට මෙන් අම්මාද කතාවට එකතු කරගත්තේය.

කව්ද කියලත් මිස්ට ගලගෙදරම කිව්ව නම්"

අම්මා කතාවට එකතු වුනේ අංකල්ගේ කේන්දර කතාවද අනුමත කරමින්

මම හිතන්න්නේ පුතත් දන්නවා ඒ කෙල්ලව... ආයේ වෙන කවුරුත් එහෙම නොවෙයි අපේ ගෙදරට අල්ලපු ගෙදර මිස්ට රාමනායක...."

"ඔව් ඔව්"

"මිස්ට රාමනායකගේ පොඩි දුව..."

මම ඇයව තරමක් දැන සිටියෙමි. ගලගෙදර අංකල්ගේ නිවසත් රාමනායක නිවසත් මුහුණට මුහුණලා පිහිටි නිවාස දෙකය. ගලගෙදර අංකල්ගේ නිවසට ගිය අවස්ථාවල ඔහුගේ අසල්වැසියා වූ රාමනායක මහතා සමඟ මා කිහිපවරක් කතාබහ කොට තිබුනෙන් ඔහුත් මමත් අතර තරමක හිතවත්කමක් ගොඩනැගී තිබිණි.

වයස අවුරුදු හැටපහක පමණ විශ්‍රාමිකයකු වූ රාමනායක මහතා දියණියන් දෙදෙනෙකුගේ පියකු වූ අතර වැඩිමහල් දියණිය විවාහ වී වෙනම ජීවත් වූ හෙයින් නිවසේ සිටියේ ඔහුත් බිරිඳත් සහ බාල දියණිය නිර්මලීත් පමණකි.

නිර්මලී කිහිප විටක්ම මා දැක තිබුනත් කිසි දිනක මම ඇය හා කතාකර තිබුනේ නැත. වෘත්තියෙන් ගුරුවරියක වූ ඇය කොළඹ ජනප්‍රිය පාසලක සේවය කලාය. උදෑසන පාසලට යාම සඳහා බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුමේ රැඳී සිටින ඇයව මම බොහෝ උදෑසනවල දැක ඇත. වෙනත් බොහෝ කාන්තාවන්ට උදෑසන බස් නැවතුමට එද්දී මිතුරු මිතුරියන් සමාගමක් ගොඩ නැගී තිබුනද ඇය සෑම විටම සිටියේ තනිවමය. ඇය උදෑසනට නිවසේ සිට බස් නැවතුම් පලට යන්නේ රාමනායක මහතා සමඟය. සවස ආපසු එද්දීද බස් නැවතුම්පොළේ සිට නිවසට එක්කන් ඒම සඳහා ද රාමනායක මහතා යන්නේය.කිසිවෙකුත් සමඟ වැඩි කතාබහක් නැත. මහමඟ ගමන් කරද්දී වුවද ඇය  වැඩිපුර යන්නේ බිම බලාගෙනය. විනීත ගුණවත් සංවරශීලී තරුණියක ලෙස ගමේ සියළු දෙනාගේම සිත්තුල ඇත්තේ ඇය පිළිබඳව යහපත් ආකල්පයකි.

"වැඩි ආලවට්ටමක් නැති හරි නිවිච්ච ගෑණු ළමයා."

අම්මා කියන්නට ඇත්තේ මගේ සිතේ පැහැදීමක් ඇතිකරන්නය.

ක්ෂණයකින් මගේ සිතට නැගුනේ දිල්කිය. නොදැනුවත්වම මම දිල්කිවත් නිර්මලීවත් සිතින් සැසඳුවෙමි. රූපය අතින් දිල්කි විවාදයකින් තොරවම රූප රාජිණියකි. නිර්මලී දිල්කි තරම් පැහැපත් හෝ මනා පෙනුමක් නැත. නිතරම පැළඳගෙන සිටින උපැස් යුවල හේතුවෙන් ඇගෙන් දිස්වන්නේ තරමක තලතුනා පෙනුමකි.

සුන්දර කෙළිලොල් දඟකාර දිල්කිත් සංවර නිවුනු තැන්පත් නිර්මලීත් මොහොතකට මගේ මනසේ ඇඳී ගියේය.

"මොනවද පුතා කල්පනා කරන්නේ..."

අම්මා ඇසුවේ මගේ අදහස දැනගන්නට නොඉවසිල්ලෙනි.

දිල්කි තවදුරටත් මගේ පෙම්වතිය නොවේ.

"මගේ අකමැත්තක් නැහැ... අපි ගිහිල්ලා බලමු" යි පවසමින් මම වාඩිවී සිටි තැනින් නැගිට්ටේ ගේ ඇතුලට යන්නටය.

මොහොතකට පසු අම්මාගේ මුවින් සැනසුම් සුසුමක් පිටවනු මට ගේ තුලට ඇසිනි.

 

 

 

2

  ඉන්පසු එළඹුනු සති අන්තයේ සෙනසුරාදා සවස අපි මනාලිය බැලීම සඳහා ඇගේ නිවසට ගියෙමු. මනාලයාගේ පාර්ශවය ලෙස මමත් අම්මාත් නිර්මලීගේ නිවසට ගිය අතර ඇගේ නිවසේ සිටියේ ඇයත් අම්මාත් තාත්තාත් පමණි. දෙපාර්ශවය සම්බන්ද කරමින් ගලගෙදර අංකල් ද අවස්ථාවට සහභාගී විය.සාම්ප්‍රදායික කතාබහෙන් සහ චාරිත්‍රානුකූල සංග්‍රහ වලින් පසු මනාලිය දැකගැනීමේ අවස්ථාව එළඹුනි. තැඹිලි පැහැයට හුරු ඔසරියකින් සැරසුනු නිර්මලී බුලත් හෙප්පුව ගෙන ඉදිරියට ආවාය. මින් පෙර බොහෝ අවස්ථාවලදී ඇයව දැක ඇතත් විශේෂ අවධානයකින් යුතුව මම ඇය දෙස බැළුවේ ඒ මොහොතේය.

දිල්කි තරම් නොවුනත් නිර්මලී සුදුය. එසේම තරමක් තරබාරුය. තැඹිලි පැහැති ඔසරියකින් සැරසී එම වර්ණයේම මුතුඇට මාලයක් ගෙලවට පැළැඳ සිටි ඇගෙන් දිස්වූයේ පැරණි චිත්‍රපට නිළියකගේ වන් පෙනුමකි. පැළැඳ සිටින තරමක් විශාල කළු රාමුව සහිත උපැස් යුවල හේතුවෙන් දැන උගත් ගුරුවරියකගේ පෙනුමද ඇගේ මුහුණේ පෙනෙන්නට තිබුණි. මේ සියළු දේ අතර විනීත නිවුනු ගුණවත් කාන්තාවක් මම ඇය තුලින් දුටිමි.

"දැන් ඉතිං මෙව්වා මේ නාකි අපි නොවෙයි නේ කතාබහ කරලා තීරණය කරගන්න ඕන... ටිකක් එළි පහලියට ගිහිල්ලා තම තමන් කතාබහ කරගෙන වෙන්න ඕන දේවල් තමන්ම තීරණය කරගන්න එක තමයි හරි. එහෙම නේද මිස්ට රාමනායක."

ගලගෙදර අංකල් සියළු දෙනාටම ඇසෙන්නට පැවසුවේ නිර්මලීටත් මටත් තනිවම කතාබහ කරන්නට ඉඩ සලසා දෙමිනි. ඒ අවසරයෙන් අපි දෙදෙනාම එළියට ආවෙමු.

ජීවිතයේ කිසි දිනක නොදැනුනු ආකාරයට කතා කරගත නොහැකි ලෙස මගේ මුව ගොළුවී තිබුණි. පළමුවෙන්ම කතා කළැයුත්තේ මොනවාදැයි තීරණය කරගත නොහැකිව මම ඇය සමඟ වත්තට ආවෙමි.

ඇය සිටියේ ලැජ්ජාවෙන් බිම බලාගෙනය. අපි දෙදෙනාම විනාඩියක් පමණ කිසිවක් කතා කරගත නොහැකිව නිශ්ශබ්ධව බලාසිටියෙමු.  ඇය මින් පෙර පිරිමියකු සමඟ මෙසේ තනි පංගලමේ කතාබහ කරමින් සිට නැති බවට ඇගේ මේ කෝඩුකාර බව සාක්ෂිය. නිශ්ශබ්ධව ගෙවුනු විනාඩි කිහිපයකින් පසු මම අපහසුවෙන් හඬ අවදි කරගත්තෙමි.

"මම දැකලා තියනවා ඔයාව උදේට ඉස්කෝලේ යද්දී..."

මම ඇගේ මුහුණ දෙස බලා කීවෙමි. ඇය බිම බලාගෙන යන්තම් සිනා වූවා මිස කිසිවක් කීවේ නැත. ඊළඟට කුමක් කියන්නදැයි කල්පනා කරගන්නට මට තරමක වේලාවක් ගතවිය.

"ඔයා ටීචර් කෙනෙක් නේද..."

එයටද ඇය බිම බලාගෙන හිස සැළුවා මිස පිළිතුරක් දුන්නේ නැත.

මා අසනා දේට  ඇය පිළිතුරු දෙන්නේ හිසින් පමණකි. මට ඇයව කතා කරවන්නට අවශ්‍ය විය.

"ඔයා මොන සබ්ජෙක්ට්ස් ද ටීච් කරන්නේ...?"

"අකවුන්ට්" ඇසෙන නෑසෙන තරම් හඬකින් ඇය පිළිතුරු දුන්නාය.

ඇය බෙහෙවින් ලැජ්ජාශීලීය. මට දිල්කිව සිහිවිය. ඇය තුල කිසිසේත් මෙවැනි කෝල බවක් නැත. ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම අයකු හා විවෘතව කතාබහ කිරීමට දිල්කි දක්ෂය. නමුත් දිල්කිගේගේ සමාජශීලීබවට වඩා නිර්මලීගේ ලැජ්ජාශීලී කෝලබව ඒ මොහොතේ මගේ සිත ගත්තේය. තරුණියකට වඩා අභිමානයක් ගෙන දෙන්නේ සමාජශිලී බවට වඩා ලැජ්ජාශීලීකම බව ප්‍රථම වරට මගේ සිතට දැනුනි.

නිර්මලීත් මමත් පැය භාගයක පමණ වේලාවක් මිදුලේ කතාබහ කරමින් සිටියෙමු. මුලදී ලැජ්ජාවෙන් කතාබහ නොකර සිටියත් කෙමෙන් කෙමෙන් ඇය මා හා කතාවට වැටුනාය.අපි බොහෝ දෑ පිළිබඳව කතා කලෙමු. කතාව අවසන් වන විට ඇය පිළිබඳව මගේ සිතේ මෙන්ම මා පිළිබඳව ඇගේ සිතේද කැමැත්තක් ඇතිවී තිබුනි. සංවාදය අවසන් වන විට අපි දෙදෙනා පෙම්වතුන් වී සිටියේයැයි කීම වඩා නිවරදිය.අපේ තීරණය පිළිබඳව මගේ අම්මා මෙන්ම නිර්මලීගේ දෙමව්පියන්ද බොහෝ සතුටට පත්වී සිටියෝය. එදින සවස අම්මා සහ මම ආපසු නිවසට පැමිණියේ නිර්මලීගේත් මගේත් විවාහය තීන්දු කරගැනීමෙන් අනතුරුවය. බොහෝ කලකට පෙර සිට දිල්කි පිළිබඳව මගේ සිතේ ඇතිව තිබූ හැඟීම් යටපත් කරමින් නිර්මලී පිළිබඳව වූඅ ළුත් ආදරයකින් මගේ සිත පිරී තිබුනි.

 

3

නිර්මලීගේත් මගේත් සම්බන්ධය සඳහා දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය නොඅඩුව ලැබුනෙන් ඉක්මනින්ම විවාහය සඳහා දින නියම විය. පළමු දිනයෙන් පසුව මට නිර්මලීව නිතර හමුවන්නට අවස්ථාව ලැබුනි. අප දෙදෙනාගේ නිවෙස් පිහිටා තිබුනේ ආසන්නව බැවින් බොහෝ දිනවල සවස් කාලයේ මම ඇයව හමුවන්නට ඇගේ නිවසට ගියෙමි. ඒ අවස්ථාවල අපි බොහො දෑ කතාබහ කරමින් සිටියෙමු. හමුවී කතාබහ කරන්නට නොහැකි දිනවල අපි දුරකතනය ඔස්සේ කතාබහ කලෙමු. එයද ප්‍රමාණවත් නොවූ දිනක රාත්‍රී නිදිවරාගෙන අන්තර්ජාලය ඔස්සේ චැට් කලෙමු. නිර්මලීට මුහුණු පොතේ ගිණුමක් තිබුනේ නැත. මා සමඟ චැට් කිරීම සඳහාම ඇය මුහුණු පොතේ ගිණුමක් නිර්මාණය කරගත්තාය. අපි බොහෝ දේ කතාබහ කලෙමු.මම මගේ ජීවිතයේ බොහෝ දේ ඇයට කීවෙමි. දිල්කි පිළිබඳවද මට ඇයට සැඟවීමේ අවශ්‍යතාවක් තිබුනේ නැත. ඇය සංයමයෙන් මගේත් දිල්කිගේත් ආදර කතාව අසා සිටියා මිස කිසිවක් පැවසුවේ නැත. ඇයද ඇගේ ජීවිත ගෙවුනු කලය පිළිබඳව මට බොහෝ දෑ කිවාය. මට ඇයට පෙර පෙම්වතියක සිටියද, ඇගේ පළමු ප්‍රේමාන්විත අත්දැකීම මා විය. ඒ පිළිබඳව සියුම් සතුටක්ද මගේ සිතේ නොවුනා නොවේ.දිල්කිට වඩා සෑම අතින්ම මාහට ගැලපෙන මනාලියක ලැබුනායැයි හැඟීම ඇය සමඟ සිටින බොහෝ අවස්ථාවල මගේ සිතට දැනුනි.

අප දෙදෙනාගේ විවාහයට තිබුනේ සය මසක පමණ කාලයකි මම දිල්කිටත්, කාංචන ඇතුළු කාර්‍යාලයේ මිතුරන් සියළු දෙනාටත් නිර්මලී පිළිබඳව කීවෙමි. දිල්කි අවංකවම මගේ විවාහයට සුභ පැතුවාය.  නමුත් කිසිදු හේතුවක් නොදක්වාම ඇය මගේ විවාහයට සහභාගී නොවන බැව් තරයේම පැවසුවාය. මගේ සිතේ කෝපයක් ඇති වුවද ඒ පිළිබඳව මා වැඩිදුර සිතන්නට ගියේ නැත. නිර්මලීගේ ඇසුරත් සමඟම දිල්කිගේත් මගේත් මිතුරුකම ක්‍රමයෙන් දුරස් වෙමින් තිබුනි.

කාංචන ඇතුළු අනෙකුත් කාර්යාලීය මිතුරන් සියළු දෙනාම ලෙංගතුව මගේ අළුත් මනාලිය වෙනුවෙන් සුභ පැතූ අතර ඔවුන් සියළු දෙනාම සිටියේ නිර්මලීව මංගල දිනයේදී දැක ගැනීමේ බලාපොරොත්තුවෙනි.

මට මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් සිටියද නිර්මලීට එවැනි සබඳතා තිබුනේ නැත. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයත් සමඟ ඇය ගණුදෙනු කලේ ඉතා පරිස්සෙමිනි.

"මිනිස්සුත් එක්ක ඕනවට වඩා සම්බන්ධකම් තියාගන්න ඕන නෑ... එතකොට තමයි නැති කරදර ඇති වෙන්නේ..." ඒ පිළිබඳව කතා කරද්දී ඇය නිතරම පැවසුවාය.

"ඔයා උනත් මොකද අනේ දකින දකින මනුස්සයා එක්ක ඔහොම කියවන්න යන්නේ...  ඡන්දෙ ඉල්ලන්න වගේ හරියට"

දිනක ඇය හමුවන්නට පාසල අසලට ගොස් ඇය එනතෙක් රැඳී සිටින අතර තුරේ පාසලේ මුරකරු සමඟ සංවාදයක වැටී සිටිනු දැක ඇය වරෙක මටද අවවාද කලාය.

මට නිරායාසයෙන්ම දිල්කිව සිහිපත් විය. පාසලේද සරසවියේද සේවා ස්ථානයේද මඟතොටේ ද වශයෙන් දුප්පත් පොහොසත් ගැහැණු පිරිමි භේදයකින් තොරව ඇයට විශාල මිතුරු මිතුරියන් පිරිසක් සිටියහ. ඇය පෙම්වතිය ලෙස සිටියදී ඇගේ මේ සබඳතා මට වදයක් වූ අවස්ථාද නැත්තේ නොවේ. කාන්තාවක්  නම් දිල්කී මෙන් සමාජශීලී නොවී නිර්මලී මෙන් තරමක් ආඩම්බර විය යුතුයැයි මට ක්‍රමයෙන් සිතෙමින් තිබුනි.

දිල්කීත් නිර්මලීත් වෙනස් වන්නේ එපමනකින් පමණක් නොවේ ඇඳුමෙන් පැළඳුමෙන් කතා බහ ගමන බිමනින් ඔවුන් දෙදෙනා සම්පූර්ණම වෙනස් වූ අන්ත දෙකකට අයත් වූවන් විය. විශේෂයෙන්ම දිල්කි හා සැසඳීමේදී නිර්මලී බෙහෙවින් චාම් කෙල්ලක විය. දිල්කි බොහෝ විට සැරසුනේ විසිතුරු මෝස්තර සහිත ඇඳුම් වලිනි. නිය ආලේපන, තොල් ආලේපන, සුවඳ විළවුන් ඇගේ අත් බෑගයේ සෑම විටම නොවරදින දෑ විය. දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වන ලද කඩාහැලෙන කොණ්ඩය, නොයෙකුත් ආලේපන වලින් අලංකාර කරන ලද මුහුණ, තොල් ආලේපන වලින් අලංකාර වූ දෙතොල්,  නවීන විලාසිතා අනුව සකස් කරන ලද ඇඳුම්, මිල අධික වූ ආභරණමේ සියල්ල දිල්කි වෙත ගෙන ආවේ සරාගී බව මුසුවුනු සුරූපී බවක්.විශේෂයෙන්ම ඇය වඩාත් අඳින්නට ප්‍රියකල කෙටි සාය විලාසිතා මේ සරාගී බව දෙගුණ තෙගුණ කලේය. ඇගේ මේ ඇඳුම් විලාසිතා හේතුවෙන් මා අපහසුතාවට පත්වූ අවස්ථාද විරල නොවේ.

නමුත් නිර්මලී එයට ඉඳුරාම වෙනස්ය. ආලේපන ආයිත්තම් කිසිවකින් තොරවූ ඇගෙන් නිරන්තරව දිස්වූයේ ස්වාභාවික සුන්දරත්වයකි. ඇය කිසි විටකත් කෙටි ඇඳුම් හෝ සිරුර කැපී පෙනෙන ආකාරයේ ඇඳුම් ඇන්දේ නැත. දිල්කි මෙන් මිල අධික අභරණ පැළඳුවේ ද නැත.නිර්මලීගේ මේ ස්වාභාවික සුන්දරත්වය ක්‍රමයෙන් මගේ සිත් ගත්තේ දිල්කිගෙන් ඉස්මතුවූ සරාගී සුන්දරත්වය සෙමෙන් යටපත් කර දමමිනි.

නිර්මලී මෙන්ම මමද විලාසිතා පිළිබඳව එතරම් උනන්දුවක් දැක්වූවෙක් නොවීමි. එහෙයින් නිර්මලීත් මමත් දෙදෙනාම ඒ පිළිබඳව දැරුවේ සමාන අදහස්ය. නමුත් එක් දිනක් සවස මම ඇය සමඟ කතාබහ කරමින් සිටියදී ඇය එක්වරම මගේ ඇඳුම් ගැන විමසිලිමත් වෙමින් ඉල්ලීමක් කලේ මා තරමක පුදුමයකට ද පත්කරමිනි.

මෘදුකාංග ඉංජීනේරුවන් ලෙස කාර්‍යාලය සඳහා සාමාන්‍ය දිනයන් හි අප භාවිතා කල ඇඳුම වූයේ සරල ඩෙනිම් කලිසම සහ ටී ෂර්ටයයි. මෙයින් වෙනස්වූ ලෙස සාමාන්‍ය විධායක නිලධාරියකුට උචිත අයුරින් අප සැරසුනේ යම් විශේෂිත දිනයක දී පමණකි.

දිනක් සවස නිර්මලී සමඟ කතා කරමින් සිටියදී ඇය මගෙන් අමුතුම ආකාරයේ ඉල්ලීමක් කලාය.

"හර්ෂ අයියේ ඔයාට බැරිද හෙට එද්දී අත්දිග ෂර්ට් එකක් ඇඳලා... ලස්සනට ටයි එකක් එහෙම දාලා එන්න..."

"ඒ මොකටද ඒ..." මම ඇගෙන් ඇසුවේ විමතියෙන්

මොනවද අනේ... ඉන්ජිනයර් කෙනෙක් උනාම ලස්සනට ඒ විදියට ඇඳලා ඉන්න ඕන නේ... ඔයාලා ඔය යන විදියට මිනිස්සු හිතනවා ඇති ඔයා කුලී වැඩ කරන මිනිහෙක් කියලා. මම කොහොමද ඔයාව කෙනෙකුට අඳුන්වලා දෙන්නේ මම බඳින්න ඉන්න කෙනා කියලා

ඇය එක දිගට නෝක්කාඩුවක් කියවාගෙන ගියාය.

"දැන් කාටද ඔයාට මේ  මාව හදිසියේ පෙන්වන්න ඕන වෙලා තියෙන්නේ"

"අර වින්ද්‍යට..., එයාලා හෙට හවස කතා කරනවා කිව්වා එතකොට ඔයත් ඉන්න එයාට පෙන්වන්න"

එවර ඇය නෝක්කාඩුව නවතා සිනහවෙන් යුතුව පැවසුවේ මගේ අතක් ආදරයෙන් අල්ලා ගන්නා අතරතුරය.

වින්ද්‍යා නිර්මලීගේ ලොකු අම්මාගේ දියණියයි. වෛද්‍යවරයකු හා විවාහ වී සිටි ඇය විවාහයෙන් අනතුරුව සැමියා සමඟ  පදිංචිය සඳහා නවසීලන්තයට  ගොස් තිබුණි. මිතුරු මිතුරියන් කිසිවෙක් නොවූ නිර්මලී සොයුරියක ලෙස ද මිතුරියක ලෙස ද වඩාත්ම ළඟින් ඇසුරු කලේ වින්ද්‍යායි.ඇය පමණක් නොවේ, වැඩි සමාජ ඇසුරක් නොමැති ඇගේ පවුල ළඟින්ම ඇසුරු කලේද මේ වින්ද්‍යාගේ පවුලේ අය සමඟ පමණි. නිර්මලී පමණක් නොවේ ඇගේ මව පවා නොයෙක් අවස්ථාවල ඇගේ ලොකු අක්කා පිළිබඳව කතා කලේ මහත් ආඩම්බරයෙනි.වින්ද්‍යාගේ පියා හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකි, මව හෙවත් නිර්මලීගේ ලොකු අම්මා විදුහල්පතිනියකි. ඔවුන් මෙයින් වසරකට පමණ පෙර වින්ද්‍යාගේ මංගල උත්සවය පවත්වා ඇත්තේ අති උත්කර්ෂවත් ලෙස කොළඹ තරු පහේ හෝටලයකය. එහෙයින් නිර්මලීට මෙන්ම ඇගේ මවටද අවශ්‍යව තිබුනේ එයට නොදෙවෙනි ලෙස අති උත්කර්ෂවත් උත්සවයක් පවත්වා නිර්මලීගේ විවාහය සිදුකිරීමටය.

"ජීවීතේටම එකම එක පාරක් කරන දේ නේ හර්ෂ අයියේ, අපි පුළුවම් තරම් ලස්සනට ඒක කරන්න බලමු"

 උත්කර්ෂවත් විවාහ මංගල්‍යයක අවශ්‍යතාවය නොතිබුනද නිර්මලීගේ අහිංසක ආශාව බොඳ කර දමන්නට මට සිතුනේ නැත. ඒ අනුව අප දෙදෙනාගේ විවාහ උත්සවය හැකි ඉහලම ආකාරයට පැවැත්වීමට තීරණය විය. නිර්මලාගේ මව එහි මූලිකත්වය ගත්තාය. ඇගේ කැමැත්ත අනුව කොළඹ තරුපහේ හෝටලයක උත්සව ශාලාවක් විවාහය සඳහා වෙන්විය. මනාලියට ඇන්දවීමේ සිට  මල් සැරසිලි දක්වාම වූ කටයුතු සඳහා ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට තීරණය විය.

පුදුමයකට මෙන් මට ඒ අවස්ථාවේ නම් දිල්කිව සිහිපත් වූයේ නැත. විවාහය පිළිබඳව වරක ඇය පැවසූ අදහස මට සිහිපත් වූවේද නැත.

"මට මහා ලොකු වෙඩිංග් ගන්න ඕන නෑ හර්ෂ, කසාද බඳිනවා කියලා ලෝකෙට ලොකුකම් පෙන්වන්න ඕනෙත් නැහැ මට, උත්සව ගන්න ඕන නෑ හර්ෂ අපි දෙන්නා විතරක් ගිහින් රෙජිස්ට්‍රාර් ළඟ අත්සන් කරලා ආවම ඇති, මට ඕනේ ඔයාව මිසක් ලොකු වෙඩිං එකක් නෙවි"

රටේ ඉහලම ව්‍යාපාරික පවුලක දියණිය වූ ඇය අපේ සබඳතාවයට බාධා පැමිනෙද්දී දිනක මට කීවාය.

නමුත් එය කිසි දිනක ඉටු වූයේ නැත. එය ඉටු නොවූවා පමණක් නොව ඒ වන විට එය අතීතයට ද එක්වී හමාර වී තිබිණි.

නිර්මලී ආගම දහම කෙරෙහි දැඩි භක්තියකින් යුතු කෙල්ලක විය. නිවසේ ඇගේ කාමරයට ඇතුළුවද්දීම පෙනෙන්නේ ඉතා අලංකාර බුදු කුටියකි. එහි නිතරම දැල්වෙන බුදු පහන කියාපෑවේ කාමරයේ සිටිනා යුවතියගේ භක්තිවන්ත බවය. වෙනත් යුවතියකගේ කාමරයෙන් දැනෙන නොයෙක් ආකාරයේ විළවුන් සුවඳ වෙනුවට ඇගේ කාමරයෙන් හැමුවේ බුදුන්ට පුදකල පිච්ච මල් සුවඳය.

ඇය තනිකරම ආහාරයට ගත්තේ නිර්මාංශ ආහාර පමණි. මස් මාළු බිත්තර තබා ඒවා ගෑවුනු හැන්දකින් බෙදූ එළවළුවක්වත් ඇය ආහාරයට ගත්තේ නැත. මා හමුවූ පළමු දිනයේම  ඇය මේවග කියා මගෙන්ද නිර්මාංශ වන ලෙස ඉල්ලා සිටියාය. මස් මාළු කෑම පවක් බවද අපි මිනිසුන් වශයෙන් ජීවත්වද්දී කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් නොකල යුතු බවද ඇය කාරුණිකව පැහැදිලි කර දුන්නාය.

මම  ඇගේ ප්‍රතිපත්තියට ගරු කළෙමි. දිල්කිගේ ප්‍රියතම ආහාරය වූයේ නොයෙක් ආකාරයට සැකසූ කුකුල් මස්ය. කුකුල් මස් වලින් නොයෙක් ආකාරයේ ආහාර වර්ග සකසන ප්‍රසිද්ධ අවන්හලක් ඇගේ ප්‍රියතම අවන්හල විය, අපි දෙදෙන පෙම්වතුන් ලෙස සිටියදී නිවාඩු දින බොහෝමයක සන්ධ්‍යා කාලය ගතකලේ මෙම අවන්හලේය.

මගේ සිත මටත් නොදැනීම යලිත් වරක් දිල්කිත් නිර්මලීත් සසඳා බැලීය. දිල්කි පෝය දිනයකට හෝ පන්සලකට ගිය වගක් මගේ මතකයේ නැත, නමුත් නිර්මලී ඒසේ නොවේ, දිල්කිව යටපත් කරමින්, සෑම පසලොස්වක දිනයකම සිල්සමාදන්වන ආගම දහමට ලැදී නිර්මාංශීක මේ පින්බර යුවතියකෙරෙහි සිතේ පහන් හැඟීමක් නැග ආවේ නිරායාසයෙනි.

නිර්මලීගේ නෑදෑයෙක් අසල් වැසියෙක් නොව ඇය යන්තම් දැන සිටි අය අතර පවා නිර්මලීගේ හොඳක් මිස කිසි දිනක වරදක් කියන පුද්ගලයකු සිටියේ නැත. වෙනකක් තබා දිනක පංසලේදී අම්මාට හමුවූ පොඩි හාමුදුරුවන් පවා දීර්ඝ ගුණ වර්ණනාවක් කරමින්  පවසා ඇත්තේ නිර්මලී මෙන් හොඳ බිරිඳක් මටත් එවැනි ගුණවත් ලේලියක් අම්මාටත් කිසි දිනක නොලැබෙනු ඇතිබවට කරනු ලැබූ අවවාදයක් ද සහිතවය.

ඇය ආගම ධර්මය පිළිබඳව වූ භක්තිය එතකුදු නොවේ, සෑම පසලොස්වක පොහොය දිනයකම අටසිල් සමාදන් වන්නාසේම සෑම සෙනසුරාදා සවසක භාවනා පන්තියකට පවා ඇය සහභාගී වූයේ ධර්මයේ ගැඹුරු බව ප්‍රායෝගිකව පසක් කර ගැනීමේ අටියෙනි.

සැබවින්ම ඇය ජීවිතයේ ලෞකික සුවයට වඩා අධ්‍යාත්මික සුවය අපේක්ෂා කරන බව නොයෙක්වර මා සමඟ කියා තිබුනාය. එපමනක් නොවේ ඇය ඒ ආධ්‍යාත්මික මාර්ගයේ තරමක දුරකට ද ගමන් කර තිබුනි. බොහෝ දෙනෙකුට රහසක්ව තබාගෙන සිටි දෑ දිනක ඇය මට හෙළිකලාය.

"හර්ෂ අයියේ ඔයා දන්නවද... භාවනාව නිසා මට ඇත්තටම පොඩි බලයක් වගේ දෙයක් ලැබිලා තියෙනවා. "

"ඒ කිව්වේ..."

මම පුදුමයෙන් ඇසීමි

ඒක එහෙම විස්තර කරන්න බෑ හර්ෂ අයියේ... ඒක නිකම් හිතට දැනෙන දෙයක්

"මොන වගේ දෙයක්ද"

"ම්ම්ම් ඒක නිකම්... හිතන්න මම මගේ කාමරේ අර පුංචි බුදුගේ ඇතුලේ පහනක් පත්තු කරලා සත්‍යක් ක්‍රියාවක් කරලා දෙයක් ප්‍රාර්ථනා කරනවා කියලා, ඒක මොන විදියෙන් හරි ඉෂ්ඨ වෙනවා."

මම කිසිත් නොකියා මඳ සිනාවක් පමණක් මුවට නගාගත්තෙමි.

"ඔයා හිතන්නේ බොරු කියලද?" ඇය බොරු අමනාපයක් පෙන්වමින් මගේ අසලින් ඉඳගත්තාය.

"ඔයාට මම කියන්නම්කො දවසක් වෙච්ච දෙයක්. දවසක් අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කිසිම හේතුවක් නැතිව මට හොඳටම බැන්නා... ඇත්තටම මගේ අතේ කිසිම වැරැද්දක් තිබුනේ නෑ. පස්සේ මම ගෙදර ඇවිල්ලා පහන පත්තු කරලා සත්‍යක්‍රියාවක් කලා මට නිකරුනේ දොස් කිව්වට ඒ මිනිහට නිසි දඬුවමක් ලබා දෙන්න කියලා..."

"ඉතිං"

"ඔයා දන්නවද පහුවෙනිදා මිනිහා ආවේ කොහොමද කියලා... වැටිලා අත කඩාගෙන, සම්පූර්ණයෙන් වම් අතටප්ලාස්ටර් එකක් දාගෙන."

මට පුදුම සිතිනි.ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් සුරකින බව ඇගේ අදහසය, ධර්මය තුල හැසිරීමක් තබා ධර්මය පිළිබඳව මෙවන් දැනුමක් හෝ ඇති යුවතියක සොයාගැනීමද මෙකල විරලය. සැබවින්ම එවැනි සිදුවීමක් සිදුවූවා නම් ඒ ඇගේ සත්‍යවාදී ගුණකරුක බව නිසාමය. එසේ බලන කලඇය වැනි වූ සත්‍යවාදී බිරිඳක ලැබීමම එක් අතකට වාසනාවකි.

නිර්මලීගේ මේ දැනුම ධර්මයට පමණක් සීමා වූවක්ම නොවේ. ධර්මය පිළිබඳව මෙන්ම ජීවන අත්දැකීම් අතින්ද ඇය සිටියේ අපිට ඉදිරියෙනියි නොයෙක් අවස්ථාවල මගේ සිතට දැනී තිබුනි. වැඩි සමාජ ඇසුරක් හෝ මිතුරු ආශ්‍රයක් නොතිබු ඇගේ හොඳම මිතුරා බවට පත්ව තිබුනේ පොත් පත්ය. ඇගේ කාමරයේ එක් පසක විශාල පොත් පිරවූ රාක්කයකි. ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ පොත් පත් බොහෝමයක් ඇගේ ඒ පොත් අතර විය.මැක්සිම් ගෝර්කි, ගාර්ෂියා මාර්කේස් ඇගේ ප්‍රියතම ලේඛකයන් විය.ඇගේ ජීවන අත්දැකීම ගොඩනගා ගැනීම සඳහා මේ ලේඛකයන්ගේ පොත් බොහෝ උපකාරී වී ඇති බව ඇය නිරන්තරයෙන් සඳහන් කලාය. අවංකවම පැවසුවහොත් දිල්කි හෝ මම මෙවැනි ගැඹුරු දර්ශනයන් සහිත පත පොත කියවා නැත.සාමාන්‍යයෙන් දිල්කි තුල නම් පොත් කියවීමේ පුරුද්දක් කිසිසේත් තිබුනේ නැත. කලාතුරකින් හෝ පොතක් කියවූවා නම් ඒ විෂයානුබද්ධ පොතකි නැතහොත් සරල නවකතා පොතකි.ජීවිතයේ ගැඹුර ස්පර්ෂ කල හැකි එවන් කෘතියක් ඇය කියවීමට තබා ඒ ගැන සිතුවේවත් නැත. දිල්කිවන් බොළඳ යුවතියකට වඩා නිර්මලී වැනි ජීවිතය පිළිබඳව අත්දැකිම් සහිත පරිණත යුවතියක ලැබීමම ඉදිරි විවාහ ජීවිතයේ සාර්ථකත්වයට කෙතරම් පිටිවහලක්දැයි මා සිතුවේ වරක් දෙවරක් නොවේ.

කාලය වේගයෙන් ගෙවී ගියේය. දෙපාර්ශවයෙන්ම මංගල උත්සවය සඳහා ආරාධනා පත් යැවීම ආරම්භ කර තිබුනි. මංගල දිනයට මසක් පමණ තිබියදී දිනක උදෑසන මම නිර්මලීගේ නිවසට ගියෙමි. එදින ඇගේ මවත් පියාත් දෙදෙනම නිවසේ සිටියේ නැත. නිර්මලී නිවසේ සිටියේ තනිවමය. මින් පෙර ඇයත් මමත් පමණක් නොයෙකුත් අවස්ථාවල හමුවී ඇතිමුත් නිවසක හුදකලාවේ අප දෙදෙනා හමුවූ පළමු අවස්ථාව එය විය. ඇය මෙන්ම මම ද සිටියේ කියාගත නොහැකි අන්දමේ අපහසුතාවයකිනි.

තරමක වේලාවක් සාලයේ කතාබහ කරමින් සිටීමෙන් අනතුරුව ඇය බීමට යමක් ගෙන ඒම සඳහා කුස්සියට ගියාය. මම නැගිට ඇතුලට යම්දෝ නොයම්දෝයි දෙගිඩියාවෙන් වාඩිවී සිටි පුටුවට ඇලී සිටියෙමි. මඳ වේලාවකට පසුව ඇය බීම වීදුරු දෙකක්ද රැගෙන ආපසු ආවාය. ඇගේ දෑසේ වූ කෝල ආරාධනාත්මක බැල්ම මට මඟ හැරුනා නොවේ. මම සෙමෙන් ඇගේ අතින් අල්වාගෙන මා අසලින් වාඩිකරවා ගත්තෙමි.

මා කරන්නේ වරදක් නොවේ. ඇය තවමත් මගේ බිරිඳ නොවන බව සැබෑය නමුත් ඒ තවත් කෙටි කලකට පමණි තව මසකට අඩු කාලයකදී ඇය මගේ ප්‍රියාදර බිරිඳ වනු ඇත. කරවටා සෙමෙන් අත යවා නිර්මලීව මගේ සිරුරට ලං කරගත් මම සෙමෙන් ඇගේ දෙකම්මුලුත් ගෙලත් සිප ගතිමි  ඇය මා කරන්නකට ඉඩදී ඔහේ සිටියා මිස විරුද්ධතාවක් දැක්වූයේ නැත.එයින් දිරිගත් මම සෙමෙන් ඇය ඇඳ සිටි ගවුමේ ඉහල බොත්තම් දෙක විවර කලෙමි. මගේ දෙතොල් වලට ඇගේ පියවුරු වල පහස දැනෙද්දී ඇය අනුරාගි කෙඳිරියක් නගමින් තව තවත් මගේ හිස ඇගේ ලය තුල සඟවා ගත්තේ ආශාවෙනි.

අපි දෙදෙනා විනාඩි පහලොවක් පමණ එකිනෙකාගේ ආලිංගනයේ සිටියෙමු. අනතුරුව  මොහොතකට මගෙන් මිදුනු ඇය

"අපි ඇතුලට යමු" යි මිමිනුවේ ගැහෙන ස්වරයෙනි.

ඇගේ ජීවිතයේ වැදගත්ම වටිනාකම මෙවැනි හුදකලා නිවසක හොර රහසේ ලබා ගන්නට මට අවශ්‍ය වූයේ නැත. මම ඇයව නැවත්වීමි. එදින තවත් බොහෝ වේලාවක් අපි කතාබහ කරමින් සාලයේ ගතකලෙමු.

"හර්ෂ අයියේ, මම ඔයාගෙන් දෙයක් ඉල්ලන්න මට පොරොන්දු වෙනවද ඒ දේ දෙනවා කියලා"

සවස ආපසු යාමට සූදානම් වූ මගෙන් ඇය ඇසුවාය.

"ඉපදුනු දවසේ ඉඳන් කිසිම පිරිමියෙක් මඟේ ඇඟට අතක්වත් තියලා නෑ... හර්ෂ අයියේ.... ඔයා තමයි එකම කෙනා හර්ෂ අයියේ... මට පොරොන්දු වෙන්න  ... මට පොරොන්දු වෙන්න  මේ අත් දෙකින් වෙන කිසිම කෙල්ලෙක්ව අල්ලන්නේ නෑ කියලා..."

ඇය සිටියේ හඬමිනි. මම ආදරයෙන් ඇගේ හිස සිපගත්තේ ඇයව සනසවන්නටය. නමුත් මා පිටව යනතුරුත් නොයිඳුල් යුවතියගේ ඇසින් ගලමින් තිබූ කඳුළු ගඟ නැවතී තිබුනේ නැත.

4

කාලය වේගයෙන් ඉගිල ගියේය. දිනෙන් දින මංගල දිනය ලංවත්ම ඊට සමානවම කළයුතු වැඩ ප්‍රමාණය පහළ යායුතු වුවත් සිදුවූයේ එහි අනෙක් පැත්තය, එහෙයින් දිනෙන් දින සියළු දෙනාම කාර්ය බහුල වෙමින් සිටියහ. මංගල දිනයට සතියකට පමණ පෙර සිටම නිර්මලීත් මමත් දෙදෙනාම රැකියා වලින් නිවාඩු ලබා සිටියෙමු. නමුත් දෙදෙනාටම එක මොහොතක් හෝ නිවසේ රැඳී සිටීමට  අවකාශයක් තිබුනේ නැත. උත්සවය පවත්වන හෝටලයට, මනාලිය හැඩගන්වන සැළුනයට, මල් සපයන ආයතනයට, සංගීතය සපයන ආයතනයට, ඡායාරූප ශිල්පියා  හමුවීමට ආදී අනේක විදියේ කටයුතු උදෙසා අපි දෙදෙනා දිව යමින් සිටියෙමු.

ඒ අඟරුවාදා දිනය මට කිසිසේත්ම අමතක වන්නේ නැත. මංගල උත්සවයට ඉතිරිව තිබුනේ දින තුනක් පමණි. නිර්මලීත් මමත් උදෑසනින්ම උත්සවය පවත්වන හෝටලය වෙත ගියේ එහි අවසන් සැකසුම් ඡායාරූප ශිල්පියාගේ අවශ්‍යතාව අනුව ගැලපේදැයි සොයාබැලීමටය. සවස් වරුව ඡායාරූප ශිල්පියා සමඟ පෙරහුරු ඡායාරූප ගැනීමකට සූදානම්ව සිටියත් ඔහුට හදිසියේම යෙදුනු කටයුත්තක් හේතුවෙන් ඒය පසුවදාට කල්ගියේය. සවස් වරුව අපි දෙදෙනාට මඳ විවේකයක් ලැබුනු බැවින් දෙදෙනාම ආපසු නිවස වෙත ආවේ තරමක සැහැල්ලු සිතිනි.

"වින්ද්‍යලා අනිද්දා උදේ පාන්දරම ලංකාවට එනවා..."

නිර්මලී පැවසුවේ අප ආපසු නිවස බලා එමින් සිටියදීය.

මම නිහඬවම ඉදිරිය බලාගෙන රිය පදවමින් සිටියෙමි.

"හෝම් කමිං එකට දාන මාලේ අරගෙන එන්නේ වින්ද්‍යා සිංගප්පූර් වලින්. එයා මාල තුනක් බලලා තියනවා එකෙන් හොඳ එක මම සිලෙක්ට් කරන්න ඕන..."

ඇය නැවතත් පැවසුවේ මගෙන් ප්‍රතිචාරයක් නැති තැනය.

"මාලේ සිලෙක්ට් කරගන්න විදියක් නැහැ ස්කයිප් කෝල් එකක් ගන්න බැරිව දැන් සති දෙකක් වෙනවා...."

මගෙන් ප්‍රතිචාර නොලැබෙනු තැන ඇය අවලාදයක් කීවාය.

"ඒ මොකද ස්කයිප් යන්න බැරුව ඉන්නේ"

මම වැඩි ගණනකට නැතිව ඇසිමි.

"අනේ අනේ අඩු ගානේ මතකෙවත් නැහැනේ.... සති දෙකක් තිස්සේ ඉඳලා කියන්නේ මගේ කම්පියුටරේ කැඩිලා, හදලා දෙන්න කියලා... මහ ලොකු කොම්පියුටර් ඉන්ජිනියර්

ඇය කියන්නේ ඇත්තය, පරිඝණකය සාදා දෙන්නැයි ඇය මගෙන් ඉල්ලන්නේ දැන් දෙසතියක සිටය. නමුත් තවමත් මට ඒ සඳහා අවස්ථාවක් ලැබුනේ නැත. යහපත් බිරිඳකගේ සිත රිදවීම යහපත් සැමියෙකුට අනුචිතය, එදින සන්ධ්‍යා කාලයේ දෙදෙනාටම විවේක තිබූ බැවින් නිවසට ගිය විගසම ඇගේ පරිඝණකය අළුත් වැඩියා කර දීමට මම ඇයට පොරොන්දු වීමි.

අපි නිර්මලීගේ නිවසට යන විට ඇගේ අම්මාත් තාත්තාත් දෙදෙනාම නිවසේ සිටියේ නැත. දහවල් ආහාරයෙන් පසුව මම ඇගේ පරිඝණකය අළුත් වැඩියා කිරීමට පටන්ගත්තෙමි. පරිඝණකයට සිදුවී ඇති දේ වටහා ගැනීම අපහසු වූයේ නැත, එහි කවරය ඉවත් කරද්දීම  සිදුව ඇති දේ පැහැදිලිව පෙනෙන්නට තිබුනි. පරිඝණකය යම් හේතුවක් නිසා කූඹින්ගෙන් පිරී තිබුනි. සිදුවී ඇති දෑ දැකගත් විට ඇයටත් මටත් දෙදෙනාටමය සිනාය.

කූඹි එන්නේ නැතිව තියේවිද රෑ තිස්සේ එක්කෙනෙක් මට චැට් එකෙන් පැණි හලනවා නේ

ඇය මාදෙස නෙත් කොණකින්බලා ඉඟි කරමින් කීවාය.

"මම නැතිව ඉතිං අල්ලපු ගෙදර එකා ඔයාට පැණි හලන්නද..."

මම පැවසුවේ ඇගේ ඉඟවටා අත යවමින් ඇය මගේ තුරුලට කරගනිමිනි.

ආදරයෙන් ගෙවුනු සන්ධ්‍යාවක අවසානයේ මම ඇගේ පරිඝණකය අළුත් වැඩියා කර දුන්නෙමි. කූඹි හේතුවෙන් ඇගේ පරිඝණකයේ දෘඩ තැටියට හානි වී තිබිනු බැවින් ඒ සඳහා මගේ ළඟ තිබූ අතිරේක දෘඩ තැටියක් යොදාගැනින.

පැරණි දෘඩ තැටියේ ඇගේ පාසලේ සටහන් සහ වෙනත් වැදගත් තොරතුරු බොහොමයක් ඇතුලත්ව තිබූ බැවින් එම දත්ත නැවත ලබා ගැනීම සඳහා එය මා සතුව තබා ගත්තෙමි.

ආදරණීය සන්ධ්‍යාවකින් පසුව අපි දෙදෙනා රාත්‍රී හතට පමණ සමුගත්තේ නැවතත් හෙට දින උදෑසන හමුවීමේ බලාපොරොත්තුවෙනි. ඇය අකමැත්තෙන් වුවත් මට සමුදුන්නේ මගේ නළලත මත උණුසුම් හාදුවක් තබමිනි. නමුත් ඒ මා ඇයව දකින අවසාන වතාව යැයි මොහොතකට හෝ ඒ අවස්ථාවේ  මට සිතුනේ නැත.

රාත්‍රී කෑමෙන් පසු අම්මාට ඉක්මනින්ම නින්ද ගියා ද මට නිදිමතක් තිබුනේ නැත, නිර්මලී සමඟ සිදුවූ නොයෙකුත් සිදුවීම මතක් කරමින් සිටියා විනා මට නින්ද ආවේ නැත. වේලාව රාත්‍රී එකොළහ පමණ වන්නට ඇත. නිර්මලීගේ පරිඝණකයෙන් ගලවා ගත් දෘඩ තැටියේ සිටි කූඹින් දැන් බොහෝ දුරට ඉවත්ව ඇති නිසා දැන් එය ක්‍රියාත්මක වේවියැයි මට නිකමට සිතුනි. නිදා ගැනීම පසෙකට දමූ මම ඇගේ දෘඩ තැටිය මගේ පරිඝනකයට සවිකොට ඇගේ දෘඩ තැටියේ වූ මෙහෙයුම් පද්ධතියෙන්ම පරිඝණකය පණ ගැන්වීමි. බාධා වීම් කිහිපයක් මධ්‍යයේ වුවද වාසනාවකට, දෘඩ තැටියට වැඩි හානියක් වී නොමැති බව පසක් කරමින් පරිඝණකය පණ ගැන්වීනි.

මෙසේ ඇගේ දෘඩ තැටියේ වූ මෙහෙයුම් පද්ධතියෙන් මගේ පරිගනකය පණගැන්වූ විට සැබවින්ම එහි පවතින්නේ ඇගේ පරිගණකයේ වූ දත්තය. ඇය පරිගණකය ආරම්භයටම යොදා තිබුනේ සිත නිවනා ආකාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ ඡායාරූපයකි. මම ඇගේ පරිගණකය එකින් එක පරීක්ෂා කරමින් ඇයට අවශ්‍ය දේවල් සෙව්වෙමි. එහි බොහොමයක් තිබුනේ ධර්මය පිළිබඳව භාවනා ක්‍රම පිළිබඳව වූ පොත පතය. ඒ අතර ඇගේ කුඩා කාලයේ සහ පවුලේ අය සමඟ ලබාගත් ඡායාරූප එකතුවක් ද විය. ඒවා නරඹමින් මම බොහෝ වේලාවක් ගතකළෙමි.ඇගේ අතීතයේ සොඳුරු මතක බොහොමයක් ඒ ඡායාරූපවල විය. 

එක්වරම පරිගණකයට චැට් පණිවුඩයක් ලැබුනේ මා මෙසේ ඇගේ ඡායාරූප බලමින් සිටියදීය. අන්තර් ජාලය හා සම්බන්ධව සිටියත් මා කිසිදු සමාජ ජාල අඩවියක් සමඟ ඒ මොහොතේ සම්බන්ධව සිටියේ නැත. එහෙයින් චැට් පණිවුඩය ආවේ කෙසේදැයි මම විමසිලිමත් වීමි. එය ෆේස්බුක් හා සම්බන්ධවූ මෘදුකාංගයක් මඟින් පැමිණි පණිවිඩයකි එවා තිබුනේ “Crazy Rox” නම් අයෙකු විසිනි. මා මුලින් සිතුවේ එය නිර්මලීගේ මිතුරකු විසින් නිර්මලී වෙත එවන ලද්දක් බවය, නමුත් "ඔයා ගොඩක් දවසකින්..." ලෙස සටහන් වූ පණිවුඩය එවා තිබුනේ නිර්මලී ට නොව ෂෙහානි නිරාෂා නම් අයකුටය.

මා දන්නා තරමින් නිර්මලීට ෂෙහානි නිරාෂා යන නමින් කිසිදු දැන හඳුනන්නෙක් සිටියේ නැත. මෙය නිර්මලීගේ පරිගණකයය. එහෙයින් ෂෙහානි නිරාෂා යන අයකුට යැවුනු චැට් පණිවුඩයක් මෙම පරිගණකයට ලැබුනේ කෙසේදැයි මා පත්වූයේ උභතෝකෝටික ප්‍රශ්ණයකටය.

මෙසේ පුදුමයෙන් බලා සිටි මා පුදුමයෙන් පුදුමයට පත්කරමින් ෂෙහානි නිරාෂා යන නමින් යැවුනු පිළිතුරු චැට් පණිවුඩයක්ද එක්වරම පරිගණකයෙන් මතුවිය.

"ඔව් සති දෙකකට විතර පස්සේ නේද... ඔයා මම නැතිව පාළුවෙන්ද හිටියේ...?"

මම අන්දුන්කුන්දුන් වී ගිය මනසකින් යුතුව මේ සංවාදය දෙස බලාසිටියෙමි.

"පාළුවෙන් හිටියේ පැටියෝ... ඔයා දැන් කොහොමද ඉන්නේ..."

"ම්ම්ම් මම ඉන්නේ අර මගේ රෝස පාට කොට නයිටි එක ඇඳගෙන..."

මා බලා සිටියදීම සංවාදය දිගින් දිගටම ඇදී ගියේය. නමුත් ඒ සාමාන්‍ය සංවාදයක් ලෙසින් නම් නොවේ සම්මත සභ්‍යත්වය ඉක්මවා යන්නාවූ මෙන්ම සාදාචාරවත් සමාජය පිළිකෙව් කොට බැහැර කරන්නාවු තරම් කාමුක ආකාරයෙනි. Crazy Rox නම් වූ ඔහු ෂෙහානි නිරාෂා යන ඇයව සයිබර් අවකාශයේදී නිරුවත් කළ අතර ඇය තම සළු පිළි එකි නෙක ගලවමින් ඔහු ඉදිරියේ නිරුවත් වූවාය. අනතුරුව දැක ගත හැකි වූයේ විකෘති කාමාශාවකින් පෙළුනු යම් කාමුකයෙකුගේ සහ ඒවැනි ආකාරයේ විකෘති මානසිකත්වයක වූ කාමිණියකගේ රමණය රඟදැක්වූ ජවනිකාවකි.

සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මම පැය භාගයක පමණ කාලයක් ඔහේ බලා සිටියෙමි. මෙවැනි දෙයක් සිදුවීමට කිසිසේත් ඉඩක් නැත. යම් හෙයකින් එය සිදුවන්නේ නම් ඒ එකම එක ක්‍රමයකට පමණි. මේ සංවාදයට සම්බන්ධ ෂෙහානි නිරාෂා අනිවාර්යෙන්ම නිර්මලී ගේ පරිගණකයෙන් සංවාදයේ යෙදෙනවා විය යුතුය. මා දන්නා තරමින් මේ මොහොතේ ඇගේ නිවසේ සිටින්නේ ඇය හා ඇගේ මව පියා දෙදෙනා පමණි. මේ ෂෙහානි නිරාෂා යන ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මෙවැනි ආකාරයේ සංවාදයක යෙදෙන්නේ නිර්මලී බවට සාධාරණ සැකයක් මගේ සිතට නිතැතින්ම ඇතුළු විය.

නමුත් ඇය වැනි වූ සංවර ගුණවත් ආගම දහමට නැඹුරු වූ යුවතියක මෙවැනි ක්‍රියාවක යෙදේ යැයි කෙසේ නම් විශ්වාස කරන්නද? මට සැකයකින් තොරවම එය සනාථ කරගැනීමට අවශ්‍ය විය.

නිර්මලීට දුරකතන ඇමතුමක් ලබාගත් මම හෝටලයෙන් ලබාදුන් ලදුපතේ විස්තර මට ෆේස්බුක් අඩවිය ඔස්සේ එවන ලෙස කීවේ එහි යම් වැරැද්දක් ඇති බව හඟවමිනි. ඇය නිදාසිටි බවක් පෙන්වමින් කතාකළද ඇගේ කටහඬේ වූවෙනස වටහා ගැනීමට මට අපහසු වූයේ නැත.

ඇය භාවිතාකල ෆේස්බුක් ගිණුම ඇයට සාදා දුන්නේ මා බැවින් එහි ඇතුළු වීමට අවශ්‍ය මුරපද සියල්ල මම දැන සිටියෙමි. ඇය ඇගේ නිවසින් එයට ඇතුළු වෙද්දී මමද මගේ පරිගණකයෙන් ඇගේ ගිණුමට ඇතුළු වී අදාල ලිපිනය ලබාගතිමි. අනතුරුව ෂෙහානි නිරාෂාගේ ෆේස්බුක් ගිණුමටද ඇතුළු වී එම ලිපිනයද ලබා ගත් මම ලිපින දෙක සසඳා බැළුවෙමි.  දෙදෙනාම අන්තර් ජාලය හා බැඳී තිබුනේ එකම ලිපිනයකිනි. සැකයකින් තොරවම මේ  ෂෙහානි නිරාෂා යන නමින් සංවාදයේ යෙදෙන්නේ නිර්මලී බව වටහාගැනීමට මට තවත් සාධක අවශ්‍ය නොවීය.

ලැජ්ජාශීලී ගුණයහපත් චාම් සංවර නිර්මලී, සෑම පොයකටම සිල් ගන්නා නිර්මලි, අධ්යාත්මික සුවය පතා භාවනා පංති යන නිර්මලී,  පිරිමියකු සමඟ මුහුනට මුහුන බලා කතා නොකරන නිර්මලී, මෙතරම් බොරුවක් වංචාවක් කලා යැයි කෙසේ නම් විශ්වාස කරන්නද.

මම ඔවුන් දෙදෙනාගේ සංවාදයේ පෙර සංවාදද කියවා බැළුවෙමි. ඉතා සංවර විනීත ගුණ යහපත් ලෙසින් මවා පානා නිර්මලී විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන කාම ධේනුවක් බව වටහා ගැනීමට ඒ සංවාද ප්‍රමාණවත්ය. වාචික සංවාද පමණක් නොවේ හිසෙන් පහළ ඇගේ නිරුවතින් සහ අඩ නිරුවතින් ගන්නා ලද ඡායාරූප කිහිපයක්ද ඇය මේ පුද්ගලයා වෙත යවා ඇත. ඒවායේ හිස කොටස පැහැදිලි නැතත් ඒවායේ සිටින්නේ නිර්මලී බව හඳුනාගන්නට තවත් අටුවා ටිකා අවශ්‍ය නැත.

විවාහයට ඇත්තේ තවත් දින තුනක් පමණි. නෑදෑයන් මිතුරන් අසල්වැසියන් සියළු දෙනාම ඇයව හඳුනන්නේ ඉතා සංවරශීලී ගුණයහපත් කාන්තාවක් ලෙසය. ඇගේ මේ සැබෑ ස්වරූපය කිසිවෙකු දන්නේ නැත. ඇය පිළිබඳව දන්නා අයකු ඇය මෙවැන්නියක බව නිකමට හෝ විශ්වාස නොකරනු ඇත. සියළු වැරදි මා පිට පැටවෙනු නිසැකය. එනමුදු මට මේ අනාචාරවත් රැවටිලිකාර ස්ත්රිය මගේ බිරිඳ කරගත නොහැක.

රාත්රිය එළිවන්නට ඇත්තේ තවත් පැය දෙක තුනකි. හෙට උදෑසන හිරු නැගෙන්නේ මගේ ජීවීතයේ අඳුරු කරමින් බව මට දැන් පැහැදිලිය. මා එහෙමම හිස මේසයට ගසා ගත්තේ කුමක් කරන්නට දැයි සිතාගත නොහැකිවය.

 

5

වාසනාවකට මෙන් අම්මා මගේ කතාව විශ්වාස කළාය. මා පවසන දේ නිහඬව අසා සිටි ඇය මගෙන් ඇසුවේ එකම එක දෙයක් පමණි.

"මගේ පුතාට හොඳටම විශ්වාසයි නේද... මේ නිර්මලීමයි කියලා..."

ඒ නිර්මලී නොවේයැයි කියන්නට මට කිසිසේත්ම අවිශ්වාසයක් තිබුනේ නැත. එකවරම සිදුවූ දෙයින් ඇතිවූ කම්පනය නිසාදෝ ඇය කිසිත් කතාබහ නොකොට බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියාය. අනතුරුව දුරකථනය අතට ගත් ඇය නිර්මලීගේ පියාට කතාකොට කිසිදු හේතුවක් නොදක්වාම මේ විවාහය සිදුනොවන බව කියා සිටියාය.  අම්මා ගන්නා ඕනෑම තීරණයකට ඉඩදී මම ඔහේ බලාසිටියෙමි. විවාහය අවලංගු කිරීමෙන් පසු ඇගේ ඊළඟ පියවර තරමක් විශ්වාස කරන්නට පවා අසීරු එකක් විය.

"අපි මේ ගෙදරින් යමු පුතේ"

විවාහය අවලංගු වීමෙන් පසුව නිර්මලී මෙන්ම දන්නා කියන අනෙකුත් අසල් වැසියන්ටද මුහුණ දීමේ අපහසුවක් මටද තිබිනි. එහෙයින් අම්මාගේ තීරණයට මම විරුද්ධ වූයේ නැත.

මගේ දුරකථනයට මෙන්ම නිවසේ දුරකථනයටද එක පිට එක ඇමතුම් ලැබෙමින් තිබෙද්දී අම්මාත් මමත් තාවකාලික මහරගම ලොකු අම්මාගේ නිවසට ගියෙමු.

නිර්මලී දිගින් දිගටම මගේ දුරකතනයට ඇමතුම් ගත්තද මම ඒවාට පිළිතුරු දුන්නේ නැත. මගේ දුරකතනයට කතාකල ගලගෙදර අංකල්ට පමණක් මම සත්‍ය සිදුවීම මුලසිටම විස්තර ඇතිව කීවෙමි. නිර්මලී සමඟද මොරටුවේ නිවස සහ අසල්වැසියන් සමඟද මගේ අවසන් සබඳතාවය එය විය. මම මගේ දුරකථනයේ අංකයද වෙනස් කළ බැවින් නිර්මලීගෙන් ලැබුණු ඇමතුම් පවා අවසන් විය. සතියක් පමණ මහරගම ලොකු අම්මාගේ නිවසේ නැවතී සිටි අම්මාත් මමත් කොට්ටාව ප්‍රදේශයෙන් නව නිවසක් කුලීයට ලබාගත්තෙන් සතියකට පසු අප එහි පදිංචියට පැමිණියේ මොරටුව සමඟ තිබූ අවසන් සබඳතාවය වූ පැරණි කුලී නිවස හිමිකරුට නැවත බාරදීමෙන් අනතුරුවය.

දිල්කි කාංචන මෙන්ම මගේ බොහෝ හිතවතුන් මට සිදුවූ දේ පිළිබඳව අවංකවම කණගාටූ වූහ. දිල්කි මා අසලම රැඳෙමින් නිරන්තරව මගේ සිත හදන්නට උත්සාහ කළාය. කාංචන පමණක් දිගින් දිගටම නිර්මලී පිළිබඳවත් ඇගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම පිළිබඳවත් දිගින් දිගටම විමසන්නට වූයේ කුමක් නිසාදැයි ඒ මොහොතේ මට වැටහීමක් තිබුනේ නැත.

එදායින් පසුව මට නිර්මලී කතාකලේ හෝ මුණ ගැසුනේ නැත. මේ සිදුවීමෙන් තෙමසකට පසු මගේ විවාහය සිදුවූ අතර විවාහ වී සති කිහිපයකට පසුව මමත් බිරිඳත් ඕස්ට්‍රේලියාවේ පදිංචිය ගිය බැවින් නිර්මලී පිළිබඳව මතකයේ සේයාවක් පමණක් ඉතිරි කරමින් මේ සිදුවීම මට අමතකව ගියේය.

විවාහයෙන් වසරක පමණ කාලයක ඇවෑමෙන් අපේ පවුලට කුඩා දියණියකද එකතු වූයෙන් නිර්මලී පිළිබඳව වූ මතක සේයාවද ඒ වන විට මගේ සිතෙන් මැකීගොස් තිබුනි. යළිත් මට නිර්මලී පිළිබඳව අසන්නට ලැබුනේ දෙවසරකට පසුව කාංචන ඕස්ට්‍රේලියාවේදී හමුවූ අවස්ථාවකය. කාංචනද විවාහයෙන් පසුව මාස කිහිපයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියෙන් දිනක සන්ධ්‍යාවක ඔහුත් මමත් කෝපි අවන්හලකදී හමුවූවෙමු.

"හර්ෂ ගියාට පස්සේ නිර්මලී බොහොම කැත විදියට ඔයාට අපහාස කරල තිබුනා"

කාංචන කතාව පටන් ගත්තේ එසේය.

ඒ පිළිබඳව මම පුදුම වූයේ හෝ කණගාටු වූයේ නැත.

"හර්ෂ ගිහිල්ලා මාස කීපෙකට පස්සේ මම අර ෂෙහානි නිරාෂා කියන ප්‍රොෆයිල් එකට රික්වෙස්ට් එකක් දැම්මා. තවත් මාසයක් විතර යනකම්ම ඒක ඇක්සෙප්ට් උනේ නෑ. ඒත් මාසෙකට විතර පස්සේ දවසක ඒක ඇක්සෙප්ට් වෙලා තිබුනා. ගෑනි මුලින්ම පෙන්වගෙන හිටියේ හෙන හයි ෆයි ෆැමිලි එකක පොෂ් කෙල්ලෙක් වගේ. තාත්තීට කාර් සේල් එකක් තියනවා කියලා මාර හුරතලේට තමයි කතාව පටන් ගත්තේ. ටික දවසක් බොහොම සාමාන්‍ය විදියට මාත් එක්ක චැට් කලා. මමත් කිසිම වෙනසක් නැතිව බොහොම සාමාන්‍ය විදියට චැට් කරගෙන ගියා. දවස් කීපයකට පස්සේ දවසක ගෑනි චැට් කර කර ඉන්දෙද්දී හෙමීන් එනවා වෙන පොටකට. කියවලා බලන්නකො මේ චැට් එක " යි කියමින් ඔහු අත වූ ජංගම දුරකථනය මගේ අතට දුන්නේය.

මම ඔවුන්ගේ කතාබහේ මුල් කොටස කියවා බැලීමි. කාංචන කියන්නේ සෑබෑය. එම සංවාදයට අනුව අනුරාගී කතාවකට පළමුව මුල පුරා ඇත්තේ ඇයය.

"ඊට පස්සේ ඉඳන් මේ ගෑනි පුළුවන් හැම වෙලාවෙම මාත් එක්ක චැට් කරන්න පටන් ගත්තා, ඇත්තම කිව්වොත් හර්ෂ මේ ගෑනිට චැට් එකෙන් ඕනවෙලා තිබුන එකම දේ සෙක්ස්ම විතරයි. පස්සේ මම දැන ගත්ත විදියට මාත් එක්ක චැට් කරන ගමන්ම අර පරණ එකා එක්කත් සම්බන්ධේ දිගටම තිබිලා තියෙනවා. ගෑනි ඔය විදියට මාත් එක්ක මාස හයකට කිට්ටු වෙන්න චැට් කලා. පස්සේ දවසක අපි ෆෝන් එකෙනුත් කතාකලා, කොහොම හරි වැඩේ දිගට යද්දී මම ගෑනිව කැමති කරගත්තා දවසක් හම්බ වෙන්න."

"ඉතිං නිර්මලී ආවද කාංචනව හම්බ වෙන්න?"

දවස් ගානක් එන්නම් කියලා නෑවිල්ලා ඉඳලා ඉඳලා එක දවසක නිර්මලී මාව හම්බ වුනා. හැබැයි එදා නිර්මලී  මට එයාගේ ඇත්තම විස්තර ටික කිව්වා. පළවෙනි දවසෙ නිර්මලී ආපහු යන්න ලෑස්තිවෙලා එකපාරටම කඳුළු පෙර පෙර අඬන්න පටන් ගත්තා. මීට කළින් කිසිම කෙනෙක් එයාගේ අතින්වත් අල්ලලා තිබුනේ නැහැලු මමලු පළවෙනි කොල්ලා එයාගේ ඇඟට අතතියපු.

කලකට ඉහත ඇගේ නිවසේදී සිදුවූ සිදුවීම මගේ සිතට ආවද මම කිසිවක් කියන්නට ගියේ නැත.

 පළවෙනි දවසෙන් පස්සේ නිර්මලී හැමදාම වගේ මාව හම්බ වෙන්න තියාගත්තා. අපි දෙන්නා දවස් ගානක් එකට හිටියා. එක පාරක් ඉස්කෝලේ ට්‍රේනිං එකක් කියලා දවස් තුනක් නිර්මලී මාත් එක්ක නුවර එළියේ ගිහින් හිටියා."

"ඉතිං ඊට පස්සේ මොකද උනේ?"

"මුලින් මාව ගොනාට අන්දගෙන වැඩේ පටන් ගත්තට, පස්සේ පස්සේ නිර්මලීට මාව නැතුවම බැරි වුනා. කොටින්ම ටික දවසක් යද්දී මට එයාව බඳින්න කිය කිය කරදර කරන්නත් පටන් ගත්තා."

"ඉතිං කාංචන කැමති උනාද නිර්මලීව බඳින්න...?"

"උඹ හිතුවද ඒ වගේ ලෝකෝත්තර *** බඩ්ඩක් කරගහගන්න, මගේ මොලේ බල්ලො කාලා කියලා...?

පිළිතුරු වශයෙන් අසභ්‍ය ආමන්ත්‍රණයක් ද සහිතව ඔහු මගෙන් ඇසුවෙන් මම තවත් කිසිවක් කියන්නට ගියේ නැත.

ඔහු වෙනත් තරුණියක හා විවාහ උන බවත් ඇගෙන් මේ සියල්ල වසන් කරන්නට ඕස්ට්‍රේලියාවට පැමිණි බවත් මම ඒ වන විටත් දැන සිටියෙමි.

කාංචනගේ කතාවට සවන් දීමෙන් අනතුරුව නිර්මලී පිළිබඳව අළුත් තොරතුරක් දැනගත්තා විනා වෙනත් කිසිදු විශේෂ දුකක් හෝ සතුටක් මගේ සිතට ඇති වූයේ නැත. දෙසතියකට පමණ පසු කාංචන ආපසු ලංකාවට යන්නට ගියෙන් නිර්මලී පිළිබඳව වූ මතකයද නැවත වරක් එහෙමම යටපත් වී ගියේය.

තවත් තුන් වසරක් ඉකුත්ව ගියේය. ලංකාවෙන් පිටව ගොස් පස් වසරකට පසු මමත් බිරිඳත් දියණියත් නැවත ලංකාවට පැමිණියේ පෙරේදාය. ඊයේ අප අපේම නිවසක පදිංචියට පැමිණියෙමු. රාත්‍රියේ පැවතුනු කුඩා සාදයෙන් අනතුරුව අද උදෑසන අප තිදෙනාටම ඇහැරුනේ තරමක් පමාවීය.

උදෑසන තේ කෝප්පය අතට ගත් මම සාලයට පැමිණ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කලේ කාලයකට පසුව ලාංකික රූපවාහීනී වැඩසටහනක් නැරඹීමේ අරමුණ ඇතිවය.

සිව්හැවිරිදි දියණියද නිදි ගැට කඩමින් පැමිණ මගේ උකුලේ වාඩිවූවාය. ඇය මේ ලංකාවට පැමිණි පළමු වතාවය එහෙයින් මේ සියල්ල ඇයට අළුත් අත්දැකීම්ය.

රූපවාහිනියේ විකාශය වෙමින් තිබුනේ හොඳම පර්යේෂණ ග්‍රන්ථය ලෙස සම්මාන ලැබූ පොතක් පිළිබඳව වූ සංවාදයකි. පොත අන්තර් ජාලයේ ආරක්ෂාව පිළිබඳව කරන ලද පර්යේෂණයක් බව නිවේදිකාව කියන්නට යෙදුනාය. පොත පිළිබඳව වැඩිදුර තොරතුරු කියන්නට පොතේ කතුවරිය පැමිණ සිටියාය.

"ඇත්තටම මේ පොත මම කරපු පර්යේෂණයක් ආශ්‍රයෙන් ලියවෙච්ච පොතක්. අද අපේ රටේ බොහොමයක් තරුණ පිරිස මේ සමාජ ජාල වෙබ් අඩවි වල චැට් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම ඔවුන් දන්නේ නැහැ ඔවුන් සමඟ අනෙක් පසින් චැට් කරන්නේ කවුද කියලා. බොහොමයක් වෙලාවට අපේ මේ තරුණ ගැහැණු ළමයින් සමඟ චැට් එකට එකතු වෙන පුද්ගලයා ගේ අරමුණ ඇයව බිල්ලට ගැනීම වෙන්න පුළුවන්."

මට කතුවරියගේ හඬ මෙන්ම රූපයද හොඳින් හුරු පුරුදුය. 


නිර්මලී... ....

  වසර පහකට පසුව වුවද කිසිදු සැකයකින් තොරවම මට ඇයව හඳුනාගත හැකිය.  ඇය දිගින් දිගටම තම පර්යේෂණය පිළිබඳව කියවාගෙන යයි.

" ඇත්ත වශයෙන්ම මම අවුරුදු පහක පමණ කාලයක් තිස්සේ  දිවා රෑ නොබලා කැපවෙලා තමයි මම මේ පර්යේෂණයේ යෙදී සිටින්නේ, ඒ අත්දැකීම් අසුරින් මට කියන්න පුළුවන් මේ සමාජ ජාල අඩවි වල චැට් කිරීම සඳහා එන පිරිමින් බහුතරයක්ම ලිංගික අසහනයෙන් පෙළෙන්නන් බව."

සිනහව පාලනය කරගත නොහැකි වූ බැවින්, මුවට ගත් තේ උගුර "බ්රූස්" හඬින් එළියට පැන්නේ ය.

කාංචන මේ කතාව අසා සිටියේ නම් බිම පෙරළෙමින් සිනාසෙනු නිසැකය. ඇගේ පර්යේෂණයේ තරම අපි දෙදෙන තරම් හොඳින් අන් කිසිවෙක් දන්නේ නැත.    

සයුර මැද සිට දියෙහි රස සොයන්නාක් බඳුවූ ඇගේ පර්යේෂණයත්, පෙරළුන පිට හොඳය කියන්නට තරමේ වූ ඇගේ නිර්භීතකමත් පිළිබඳව සිනාසෙනවා හැර අන් කුමක් නම් කරන්නටද, රූපවාහිනිය වසා දමමින් මා නැගී සිටියේ ඉහිරීමෙන් හිස්වූ තේ කෝප්පය, දියණිය වඩා ගෙන තවමත් පුදුමයෙන් මා දෙස බලාසිටින දිල්කිගේ අත තබමිනි.                    

 

*********************************

නිමි.

 

 


9 comments:

  1. එක හුස්මට කියෙව්වා.....Keep writing...the way u write is interesting

    ReplyDelete
  2. පට්ටයි ගන්දරයෝ...

    ReplyDelete
  3. දිවා රෑ නොබලා කැපවෙලා..
    මචං පොතේ චැප්ටර් එකක උඹ ගැන එහෙම නැද්ද​?
    එළ කතාව​

    ReplyDelete
    Replies
    1. මෙහි නම් ගම් හා සියළු සිදුවීම් මනඃ කල්පිත බව සළකන්න :D

      Delete
  4. මේ කතාව හොඳයි... ඒත් ඉතිං 'සිහිනය දිගේ...' ලියන්නේ නැත්තේ ඇයි ? ඉතිරි ටිකත් ලියන්නකෝ. අපි බලාගෙන ඉන්නවා ...

    ReplyDelete
  5. :P ෆට්ට කතාව සිරාවටම ඇල් වතුරත් නිවලා බොන උන් තමා භයානකම

    ReplyDelete