function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Friday, February 19, 2016

ගිනි දෙවියා

සමිත රන්දුනුගේ කණින් අල්ලාගත් මේනකා ගුරුතුමිය, ඔහුව කෙළින්ම විදුහල්පති කාමරයට ඇදගෙන ගියාය. පාසලේ විනය භාර ආචාර්ය ජයදේව මහතා ද ඔවුන් සමඟ විය. පාසලේ තාප්පයෙන් පැන යන්නට ගොස් අසුවූ එකොළහ වසරේ ශිෂ්‍යයා පිළිබඳව විදුහල්පති දිසානායක මහතා සිටියේ ඉහවහා ගිය කෝපයෙන් යුතුවය.  මෙපමණ වරදක් කර අතටම අසුවී තිබිය දී පවා සමිතගේ මුහුණේ පසුතැවීමක ලකුණක් හෝ තිබුණේ නැත. මේනකා මහත්මියට මෙන්ම ජයදේව මහතාට ද මේ ශිෂ්‍යයා පිළිබඳව වැඩිපුරම කේන්තිය ඇත්තේ එම නිසාය.
"මට නම් බැහැ සර් මේ ළමයව තවත් පංතියේ තියාගන්න... සමිත පංතියේ හිටියොත් අනෙක් ළමයෙකුටවත් ඉගෙනගන්න දෙන්නෙ නෑ..."
මේනකා ගුරුතුමිය විදුහල්පති තුමාට පැමිණිළි කලේ අඳෝනාවක ස්වරූපයෙනි. ජයදේව මහතා ද ඊට අඩු වැඩිය එක්කළේය.
"මේ සමිත මේවගේ වැඩක් කරලා අහුවෙච්ච පළවෙනි පාර නොවෙයි නේ... ඉස්කෝලේ හැමදාම සමිතට විරුද්ධව පැමිණිළි. ගිය සතියේ කම්පියුටර් ලැබ් එකේ දී අනවශ්‍යය පින්තූර වගයක් බලද්දී අහුවුනෙත් මේ ළමයම නේද?"
පිළිතුරු ලෙස කිසිවක් නොකීවද, සමිතගේ මුහුණේ ඇඳුනේ අවඥ්ඥා සහගත සිනහවකි.


සමිත රන්දුනු සාමාන්‍ය පෙළ පංතියේ උගන්නා ශිෂ්‍යයෙකි. සාමන්‍යපෙළ විභාගය සඳහා තවත් මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබුනද සමිතට ඒ පිළිබඳව එතරම් හැඟීමක් තිබුණේ නැත. අධ්‍යාපනය පිළිබඳව එතරම් උනන්දුවක් නොදැක්වූව දපාසලේ යම් විනය විරෝධී ක්‍රියාවක්, නැතහොත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවී නම් ඒ සෑම ස්ථානයකම සමිතගේ නම මුලින්ම තිබුණි. මේ නිසාම ශිෂ්‍යයින් වැඩි දෙනෙකු අතර මෙන්ම ආචාර්ය මණ්ඩලය අතර පවා සමිත පිළිබඳව ප්‍රසාදයෙන් කතා කළ කිසිවෙක් සිටියේ නැත.
මෙයින් වසර කිහිපයකට පෙර සමිත රන්දුනුගේ වැඩිමහල් සොයුරු අමිත රන්දුනු අධ්‍යාපනය ලබුවේ ද මෙම පාසලේමය. අද සමිත මෙන්ම එකළ අමිත පිළිබඳව ද ගුරු මණ්ඩළය හා ශිෂ්‍යන් අතර තිබුණේ පහන් හැඟීමක් නොවේ. උසස් පෙළ සමයේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුට පහරදීම හේතුවෙන් පාසලෙන් නෙරපා හරිනු ලැබූ අමිත ට අවසානයේ උසස් පෙළ විභාගයට පවා මුහුණ දීමට සිදුවූයේ පෞද්ගලික අපේක්ෂකයකු ලෙසිනි. පාසලෙන් ඔහුට කිසිදු සහයෝගයක් ලැබුනේ නැත. අද සමිත රන්දුනු යන්නේ ද එදා ඔහුගේ සොහොයුරා ගිය පාරේමය. එහෙත් තවමත් මේ දඩබ්බර ශිෂ්‍යාට මතක සිටින ආකාරයේ දඬුවමක් ලබා දීමෙන් යහ මගට ගත හැකියැයි විදුහල්පති දිසානායක මහතා තදින්ම විශ්වාස කළේය.
"දණ ගහනවා ඔහොම" යි
 සමිත ට සැරවෙමින් විදුහල්පති දිසානායක මහතා වේවැල අතට ගත්තේ ඒ විශ්වාසය නිසාමය.
 නමුත් පිළිතුරු ලෙස එක්වරම ශිෂ්‍යයාගෙන් නැගුනේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රතිචාරයකි.
"සර්.... ඕන්නං මාව ඉස්කෝලෙන් අස්කරන්න, නැතිනම් පංති තහනම් කරන්න.. ඒ ඕන මගුලක්... හැබැයි සර් මට ගහන්න ආවොත් නම් කාට කාටත් වැඩ වරදිවී...."
එක්වරම සමිතගේ මුවින් පිටවූයේ තර්ජනාත්මකවය. බලාපොරොත්තු විරහිතව එල්ලවූ ඒ තර්ජනයෙන් සියළු දෙනාම මොහොතකට විපක්ෂිත වී ගියහ.
නමුත් ඒ මොහොතකට පමණි.
එක්වරම ඉදිරියට ආ ජයදේව මහතා සිසුවාට වැරෙන් කම්මුල් පහරවල් කීපයක් එල්ලකළේ .
"ඇයි තමුසේ අපිට මොනවා කරන්න ද...??  මොනවා කරන්න ද....?  අසමිනි.
ජයදේව මහතාගේ සුරතින් ලද අතුල් පහරවලින් මෙතක් වෙලා පෙන්වූ එඩිතර බව සිඳී ගියද සමිත පහර කා ගෙන කෝපයෙන් කෑ ගැසුවේ ය.
"මම උඹලා හැම එකාවම ගිණි තියනවා.......  මට අත තියපු හැම එකාවම ගිණි තියනවා ..... "

ජයදේව මහතාගෙන්, මේනකා මහත්මියගෙන් මෙන්ම විදුහල්පති දිසානායක මහතාගෙන් ද පහර පිට පහර ලැබුවද ඒ කිසිවකට සමිතගේ කෑ ගැසීම නැවතීමට හැකියාවක් ලැබුණේ නැත. විදුහල්පති කාමරය තුළ දී මෙන්ම පාසල නිමවනතෙක් පිට්ටනියේ දණ ගස්සවා තැබූ අවස්ථාවේ පවා ගිණිගත් නෙතින් සහ දැවෙනා කෝපයෙන් යුතුව ඔහු කෑ ගසමින් පැවසුවේ එකම දෙයකි.
"මම උඹලා හැම එකාවම ගිණි තියනවා.......  මට අත තියපු හැම එකාවම ගිණි තියනවා ..... "
            **************************************************
අතවූ සුදු හුනු කැටයෙන් කළු ලෑල්ලේ තවත් ත්‍රිකෝණයක් සටහන් කළ මේනකා ගුරුතුමිය එහි පාද ABC ලෙස නම් කළාය. අනතුරුව ඇය පංතිය දෙසට හැරුනේ සිසුන් අවධානයෙන් තමා ලබාදුන් ගැටළුව විසඳන්නේ දැයි දැනගැනීමටය. මුළු පංතියම මීයට පිම්බාක් මෙන් නිශ්ෂබ්ධව තිබුණි. සියළු දෙනාම මුහුණු බිමට නවාගෙන අවධානයෙන් යුතුව ගැටළුව විසඳමින් සිටියහ. මේනකා මහත්මියගේ නෙත සමිත රන්දුනු දෙසට ගියේ පුරුද්දට මෙනි. පංතියේ මැද අසුනක වාඩිවී සිටි ඔහු අවධානයෙන් යුතුව බලාගෙන සිටියද ඒ අනෙක් අය මෙන් පොත දෙස නොවේ. ඔහු අවධානයෙන් යුතුව බලා සිටියේ පංති කාමරයෙන් එළියේ වූ යමක් දෙසය. ඇසපිය නොහෙළා මෙතරම් අවධානයෙන් ඔහු බලා සිටින්නේ කුමක් දෙසදයි දැනගැනීමට ඇති වූ කුතුහලය නිසාම මේනකා මහත්මිය සමිතට නොදැනෙන්නට ඔහුගේ පිටුපසින් ගියාය.
එකොළහ වසර පංතියට දකුණින් ඇත්තේ පරිගණක විද්‍යාගරයයි. පංතියේ කවුළු අතරින් විද්‍යාගරය හොඳින් පෙනේ. විද්‍යාගරය තුළ පරිගණක විද්‍යා ගුරුවරිය වූ ක්‍රිෂාණි මේසයක් ඉදිරිපිටට වී ඉදිරියට නැමී යමක් කරමින් සිටී. අවිවාහක තරුණ ගුරුවරියක වූ ඇය සුන්දර සිරුරකට හිමිකම් කියන්නියක ලෙස පාසල පුරාම ප්‍රසිද්ධය. සමිත මෙතරම් අවධානයෙන් බලා සිටින්නේ ඇගේ දෙසයයි මේනකා මහත්මියට එකවරම සිතුණි.  ඇය ඉදිරියට අඩිය තැබුවේ සමිත අසළට ගොස් ඔහුගේ කණින් අල්ලා ගන්නටය. නමුත් මොහොතකින් දුටු දසුනින් ඇය ඉදිරියට ගත් පය ආපසු ගත්තේ ඉහලට ඇදගත් හුස්ම පහළට දා ගත නොහැකිවය.
ක්‍රිෂාණි සිටියේ එක් මේසයකට පිටුපා තවත් මේසයක් වෙත නැඹුරු වී යමක් ලියමිනි. එක්වරම ඇය පිටුපා සිටි මේසය මතින් ගිනි දැල්ලක් හටගත්තේත් එය අසළ වූ කොළ වලට ඇවිලී මේසය ආසන්නයේ වැටී තිබූ ක්‍රිෂාණිගේ සාරි පොටට ඇවිළුනේත් මේනකා බලා සිටියදීමය. විස්මයෙන් යුතුව මේ දර්ශණය දෙස බලා සිටි මේනකා මොහොතකට ගොළු වූවාය. අනතුරුව සැනෙකින් සිහි එළවා ගත් මේනකා කෑ ගසමින් පංති කාමරයෙන් එළියට පැන විද්‍යාගාරය දෙසට දිව ගියාය.
වාසනාවකට මෙන් මහා අනතුරක් නුලෙන් වැලකී ගියේය. මේනකාගේ කෑ ගැසීම හේතුවෙන් ක්ෂණිකව දිව ආ ගුරුවරුන් හා සිසුන් පිරිස විද්‍යාගාරය තුළ වූ ගින්න නිවා දමා ක්‍රිෂාණි බේරාගත්හ. ක්‍රිෂාණිගේ සාරියේ කොටසකට ගිණි ඇවිළී තිබුන ද ඇයට පිළිස්සුම් තුවාල තිබුණෙ නැත. නමුත් කතා කර ගත නොහැකි තරමටම ඇය බියවී සිටියාය. විදුහල්පති දිසානායක ඇතුළු බොහෝ දෙනෙක් ගින්නට හේතුව සොයාගන්නට උත්සාහ කළ ද කිසිවෙකුටත් නිශ්චිත හේතුවක් සොයාගැනීමට හැකිවූයේ නැත. බැළු බැල්මටම පෙනෙන්නට තිබුණේ එය ඉබේ ඇතිවූ ගින්නක් ලෙසිනි. නමුත් මේනකා මහත්මියට නම් එය එසේ නොවේ. පංතියේ සිට සුමිත් රන්දුනු දෑස් ලොකු කරමින් බලා සිටි ආකාරයත් ඉන් ස්වල්ප මොහොතකට පසු ක්‍රිෂාණිගේ සාරි පොටට ගිණි ඇවිළුණු ආකාරයත් ඇස් දෙකෙන්ම දුටුවේ ඇයයි. එපමණක් නොවේ, ගිණ්නෙන් බේරුනද බියෙන් වෙළී සිටි ක්‍රිෂාණි වත්තම් කරගෙන එළියට එද්දී අහම්බෙන් නෙත ගැටුණු පංති කාමරයේ සිට මේ සිදුවීම දෙස බලා සිටින සමිත රන්දුනුගේ මුවේ වූ අමුතුම සිනහව ද ඇයට කිසි සේතම අමතක කළ නොහැකිය.
සතියකට පමණ පෙර දිනයක "උඹලා හැම එකාවම ගිණි තියනවා" යි කළ ඔහුගේ වියරු තර්ජනය තවමත් ඇයට අමතක නැත. ඇයට පමණක් නොවේ විදුහල්පති දිසානායක, විනය භාර ආචාර්ය  ජයදේව මහතා වැනි අයට ද ඒ සිදුවීම සිහියට නොනැගුනා නොවේ. නමුත් සමිත රන්දුනු මේ සිදුවීම සඳහා සම්බන්ධ කළ හැකි කිසිදු සාධකයක් කිසිවෙකුටත් සොයාගත නොහැකිය. ගිණ්න සිදුවන අවස්ථාවේ මෙන්ම එයට පැයකට පමණ පෙර සිටම ඔහු සිටියේ මේනකාට අඩි කිහිපයක් නුදුරෙනි. එහෙයින් කිසිසේත් මේ සිදුවීමට ඔහුට චෝදනා කිරීමේ හැකියාවක් නැත.
එහෙයින් බොහෝ දෙනෙකු ගේ සිත් තුළ බොහෝ සැක සංකා ඇති කර වූවා වුවද, කළ යුතු අන් යමක් හෝ චෝදනා කළයුත්තෙක් සිතාගත නොහැකි වූ බැවින්, ඒ සැක සංකා සියල්ළ ම තම සිත්තුළම යටපත් කරගෙන ඔවුහු නිහඬ වූහ.
            *********************************************************
පාසලේ වාර විභාග ආරම්භ වීමට නියමිතව තිබූ බැවින් ජයදේව මහතා සිටියේ නිවසේ තම කාමරයට වී ප්‍රශ්ණ පත්‍ර නිර්මාණය කරමිනි. බොහෝ වේලාවක් එක දිගටම වැඩ කළ බැවින් ජයදේව මහතාට මහන්සියක් දැනුනි. ප්‍රශ්ණ පත්‍ර  කිහිපයක් මුද්‍රණය වන්නට පරිගණකය හරහා විධානය ලබාදුන් ජයදේව මහතා කාමරයෙන් එළියට පැමිණියේ මඳ විවේකයක් ගැනීම සඳහාය. පිපාසයක් දැණුනු බැවින් කුස්සියට ගිය ජයදේව වතුව වීදුරවක් පුරවා ගත්තේය. සාළයේ වූ බිත්ති ඔරලොසුවේ මධ්‍යම රාත්‍රී දොළහ සටහන් වී තිබිණි. ඈතින් බල්ලන් කිහිප දෙනෙකු උඩු බුරලන හඬ ද අනතුරුව බළලුන් දෙදෙනෙකුගේ පොරකෑමක් ද ඇසුණි. නිවසේ සියළු දෙනාම තද නින්දේය. වතුර වීදුරුවත් අතේ තබාගෙනම ජයදේව සාළයේ සෝපා පුටුව මත වාඩි වූයේ විනාඩි කිහිපයක් එහෙමම සිට නැවතත් ඉතිරි වැඩ කොටස ආරම්භ කරන අටියෙනි.
තමා ට නින්ද ගිය වේලාව හෝ කොපමණ වේලාවක් නිදාගත්තා ද යන වගක් ජයදේවට මතකයේ තිබුණේ නැත. ඔහු ඇහැරුනේ නිවස තුළින් නැගුනු කෑ ගැසීම් හඬට සහ කළබලයටය. එක්වරම ඔහුට තමාගේ දෑස් අදහාගත නොහැකිවිය. තමා දකින්නේ සැබෑවක් ද සිහිනයක් ද යන්න පවා එක්වරම තේරුම් ගැනීමට ඔහු අසමත්ව සිටියේය. ඔහුගේ දෑස් ඉදිරිපිටම නිවසේ ඔහුගේ කාමරය දෙසින් මහා ගිනි ජාලාවක්  බුර බුරා නැගෙමින් සියල්ල දවා අළු කරමින් අහසට එක්වෙමින් තිබුණි.
මොහොතක් විපක්ෂිතව සිටී ජයදේව අනතුරුව කෑ ගසමින්, කාමරය පුරා පැතිරෙන ගින්න නිවන්නට වෙහෙසෙන බිරිඳටත් දියණියටත් එකතුවූයෙන්, පැයක පමණ වේලාවක් තිස්සේ සිදුකළ දැඩි පරිශ්‍රමයකින් පසු  කාමරයෙන් එපිටටත් පැතිර යාමට ආසන්නව තිබූ ගින්න නිවා දැමීමට සමත්විය.
කාමරයේ මේසය මත වූ කොල මතින් ආරම්භ වී ඇති ගින්න, පසුව ඇඳ රෙද්දටද කොට්ටවලට හා මෙට්ටයට ද පැතිරී තිබුණු අතර ඇඳ අසළින්ම එල්ලා තිබූ තිර රෙද්දට ද ගිණි ඇවිලීමෙන් කාමරයේ එක් පසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි.
තම නිවසේ තමාගේ ම කාමරය තුළින් ගින්නක් හටගත්තේ කෙසේදැයි ජයදේවට නිකමට හෝ සිතාගැනීමට හැකියාවක් තිබුණේ නැත. කාමරය තිබුනේ නිවසේ හරි මැදමය. එහෙයින් කිසිවෙකුටත් නිවසට ඇතුළු නොවී කාමරයට පමණක් ගිණි තැබීමේ හැකියාවක් ද නැත. සමිතගේ තර්ජනය ද ජයදේවගේ සිතට නොනැගුනා නොවේ. නමුත් ඔහු එවැන්නක් කළා යයි කියන්නට කිසිදු හේතු සාධකයක් නැත. මැදියම් රැයේ ඔහු හෝ වෙනත් අයෙක් තම නිවසට ඇතුළු වී කාමරය ගිනි තමා යන්නට කිසිදු ඉඩක් නැත.
දහවල් වන විට අසල්වැසියනුත්, නෑදෑයනුත්, හිතවතුනුත් ජයදේවගේ නිවසට රැස්වන්නට වූයේන් මේ ගිණි ගැනීම පිළිබඳව ඔවුනොවුනගේ අදහස් ද ප්‍රදේශය පුරා පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. එකොළහ වසරේ ඉගෙනුම ලබන සමිත රන්දුණු ශිෂ්‍යයාට අධි මානසික බලයක් ඇති බව ද එමඟින් ඔහුගේ විරුද්ධවාදීන්ට සම්බන්ධ දෑ ගිනි තබා විනාශ කරන බවද පළමුව පාසල පුරාත් අනතුරුව ප්‍රදේශය පුරාත් කටින් කට පැතිර යන්නට පටන් ගත්තේ නිරායාසයෙනි.  
සමිත රන්දුනු තම අධි මානසික බලයෙන් පාසල් විද්‍යාගාරය ගිණි තබා තිබුනේ පාසලේ ගණිත ගුරුවරිය බලා සිටියදීම බව මින් පෙර පවසා තිබුනේ ඇය විසින්මය. තරමක් විශ්වාස කරන්නට පවා අසීරු ලෙස සිතුනද සතියක් තුළ සිදුවූ මේ දෙවන ගිණි ගැනීමත් සමඟම ඒ කතාව බොරු යැයි කියන්නට කිසිවෙක් ඉදිරිපත් වූයේ ද නැත. ජයදේව  මේ කතා පිළි නොගත්ත ද සිදුවූ දෑ පැහදිළි කිරීමට වෙනත් ක්‍රමයක් සිතාගත නොහැකි වූයෙන් ගොළුවත රැකීම හොඳයැයි කල්පනා කර මේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වීමෙන් ඔහු වැළකී සිටියේය. පොලිස් පරීක්ෂණ වලින් අනතුරුව ගින්නට හේතුව හදිසියේ ඇතිවුනු විදුලි කාන්දුවක් ලෙස තීරණය වුවද පොලිස් පරීක්ෂක ඉන්ද්‍රකුමාර මහතා පවා එම නිගමනය පිළිගත්තේ සිත තුළ වී දෙගිඩියාව්ත් සමඟම බව වටහා ගැනීමට ජයදේවට අපහසු වූයේ නැත.
            ***********************************************************
පසු දිනට පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය යෙදී තිබුණු බැවින්  බ්‍රහස්පතින්දා සවස විදුහල්පති දයානන්නද මහතා ද මේනකා මහත්මිය ඇතුළු තවත් ගුරු භවතුන් කීප දෙනෙක්  බොහෝ සවස් වනතුරුම පාසලේ රැඳී සිටියෝය. සවස පහට පමණ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුරු මණ්ඩළයේ සාකච්ඡාවක් ගුරු විවේකාගාරයේ ආරම්භ විය. ගුරු මණ්ඩලයේ සාකච්ඡාව පැයක පමණ කාලයක් පුරා ඇදී ගියේය. හෙට දිනයේ උත්සවය පිළිබඳවත් එය සාර්ථක කර ගැනීම උදෙසා කළ යුතු කාර්යයත්, ඔවුන් කතාබහ කළහ. විදුහල්පති දිසානායක මහතා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
 "දැන් එහෙනම් කවුරුත් ගෙවල් වල යමු.... කාන්තා පාර්ශවයට අද රෑ ඉඳන්ම සුදානම් වෙන්න වෙයි නේ හෙට උදෙන් එන්න" යි
ඔහු අවසාන වශයෙන් පැවසුවේ විහිළුවක් ලෙසය. දයානන්ද මහතාගේ විහිළුවට සිත පුරා සිනා සුන ගුරු මණ්ඩලයේ සියළු දෙනාම එළියට පැමිණියේ ඉක්මනින් නිවස් බලා යන බලාපොරොත්තුවෙනි. වේලාව සවස හය පසුවී තිබුනෙන් හාත්පසින් අඳුර ගලා එමින් තිබිණි. සාකච්ඡාව නිමවී ගුරු විවේකාගාරයේ දොර විවෘත කරමින් පළමුව එළියට පැමිණියේ මේනකා මහත්මියයි. එක්වරම දුටු දෙයින් ඇගේ දෙපා වාරු නොමැතිව ගොස් ඇය ගල් ගැසී නැවතුනාය. මුව සම්පූර්ණයෙන්ම ඇරී තිබුණ ද ඇගේ මුවින් හඬ නිකුත් වූයේ නැත. ඒ වෙනුවට ඇය දකුණත ඔසවමින් යමක් පෙන්වන්නට ගියද එය සාර්ථක නොවූයේ ඊට පෙරාතුව ඇය සිහි මූර්ඡාවීම නිසා බිම ඇද වැටුනු බැවිණි. ඇයට පිටුපසින් පැමිණි අනෙකුත් පිරිස ද සිටි සිටි තැන්වලම ගල් ගැසී නැවතුනහ. කම්පනය දරා ගත නොහැකි වූ කාන්තා ගුරුවරියන් කීප දෙනෙක් යටි ගිරියෙන් විලාප දුන්හ. සියළු දෙනාම බලා සිටියදී විදුහල්පති කාර්යාලය මහා ගිණි ජාලාවකින් වැසී , තද කළු පැහැති දුම් කඳක් අහසට එකතු කරමින් තිබුණි.
දෙසතියක් තුළ සිදුවූ තෙ වන ගිණි ගැනීමත් සමඟම සියළු දෙනාගේම සිත් බියෙන් මුසපත් වී යාම වළකාලන්නට කිසිවෙකුත් සමත් වූයේ නැත. මෙතෙක් රහසේ කතාකළ සමිතගේ අධිමානසික හැකියාව පිළිබඳව බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේම කතා කරන්නට පටන් ගත්හ. සමිත  ගේ අධි මානසික බලයට බිය වූ වන් අතර  පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පමණක් නොව ගුරුවරු පවා වූහ. කිසිවෙක් ඔහු කුමන දෙයක් කළ ද විරුද්ධවීමට ඉදිරිපත් වූයේ නැත. සමිතට  "ගිනි දෙවියා" යන අනුවර්ත නාමයක් පට බැඳුණු අතර සිසුන් පමණක් නොව ගුරුවරුන් සහ වැඩිහිටියන් පවා "ගිනි දෙවියා" පිළිබඳව කතා කළේ ගෞරව සම්ප්‍රයුක්ත වූ බියක් ද සිත තුළ තබාගෙනය.
විදුහල්පති කාර්යාලයේ සවිකර තිබූ සීසීටීවී කැමරා, බොහෝ දෙනාගේ සිත් තුළ ඇතිකර තිබූ අවිනිශ්චිත බිය විශ්වාසයකට පෙරළීමට අවශ්‍ය සාක්ෂි සැපයීය. කාර්යාලයේ කිසිවකුත් නොසිටින අවස්ථාවක මේසය මත වූ කොළ කිහිපයක් දුම් දමමින් ඉබේම ගිනිගන්නා ආකාරය එම කැමරාවල පැහැදිළිවම සටහන්ව තිබුණි. මේ ගිණි තැබීම් ඉබේ ඇතිවන ඒවා මිස කිසිවෙකුගේ මෙහෙයවීමෙන් සිදුවන ඒවා නොවන බවට එයට වඩා සාක්ෂියක් අවශ්‍ය වූයේ නැත. වීඩියෝ සාක්ෂි බොරු කරන්නේ නැත. මෙයින් පෙර ගිනි දෙවියා පිළිබඳව විශ්වාසයක් නොවූ විදුහල්පති දිසානායක මහතා, මේනකා මහත්මිය ඇතුළු අය පවා වීඩියෝ සාක්ෂිය දැකීමෙන් පසු එය විශ්වාස කිරීමට පටන් ගත් බැවින් තත්වය තවත් දරුණු අතට හැරුණි. දයානන්ද මහතා පාසලේ ජේ‍ය්ෂ්ඨ ගුරු මණ්ඩලය මෙන්ම පන්සලේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ද, පොලිස් පරීක්ෂක ඉන්ද්‍රනාථ මහතා සමඟද සාකච්ඡා කළේ සමිත රන්දුනු පිළිබඳව ගතයුතු ක්‍රියාමර්ගය කුමක්දැයි තීරණය කරගැනීමටය.
දෙසතියක් තුළ සිදුවූ ගිණි ගැනීම් සිදුවීම් තුනම සමිත නොහොත් "ගිණි දෙවියා" විසින් කරන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ ද එය සනාථ කිරීම සඳහා එකදු සාක්ෂියක් හෝ තිබුණේ නැත. සැබවින්ම සාක්ෂි සොයනවා තබා සමිත හෝ සමිත ගේ දෙමව්පියන් සමඟ මේ පිළිබඳව විවෘතව කතා කිරීමට පවා නිර්භය කිසිවෙක් සිටියේ නැත.  විශේෂයෙන්ම මීළඟ ඉලක්කය වේයැයි බොහෝ දෙනා විශ්වාස කළ මේනකා මහත්මිය කෙතරම් බියවී සිටියාදැයි කියතොත් පංතියේ අනෙක් සිසුන් ඉදිරියේම සමිතගෙන් සමාව ඉල්ලා සිටීමට තරම් ඇය අසරණ වී සිටියාය. කෙසේ වුවද ඒ පසුතැවිම නිසාමදෝ මීළඟ ඉලක්කය ඇය වේයැයි බොහෝ දෙනෙක් සිතුව ද සතියක් ඉක්මවා ගියද ඇයට කිසිදු හානියක් සිදුවූයේ නැත. ඇයට කිසි දු කරදරයක් නොවූයේ ගිනි දෙවියන් සමාව දීම හේතුවෙනැයි කටකතා පැතිර ගියෙන් තවත් බොහෝ දෙනෙක් සමිතගේ අධි මානසික බලය කෙරෙහි විශ්වාසය තබන්නට විය. එය කෙතරම් ද යත් සරදමට හෝ කිසිවෙක් සමිතගේ හිත රිදෙන වචනයක් කීවේ නැත.
කවුරුන් කෙසේ කීවත් ජයදේව මහතා නම් මේ "ගිනි දෙවියා"ව හෝ ඔහුගේ අධි මානසික හැකියාව කිසිසේත් විශ්වාස කළේ නැත. එසේ වුවත් මේ ගිනි ගැනීම් සිදුවීම් තුනම හුදු අහඹුවක් ලෙස ඔහු සිතුවේ ද නැත. බිය හේතුවෙන්ම කිසිවෙකුත් සුමිත්ගෙන් ප්‍රශ්ණ කිරීමක් හෝ නොකළ ද, ඔහුව සම්බන්ධයයි කීමට කිසිදු සාක්ෂියක් නොවූව ද, මෙය අනිවාර්යෙන්ම සමිතගේ ක්‍රියාවකයයි ජයදේව තදින්ම විශ්වාස කළේ ය. මෙය සමිත විසින් කළා නම් තම නිවසටත්, කාර්යාලයටත්, පරිගණක විද්‍යාගාරයටත් ගිනි දැල්වීම සඳහා ඔහු බාවිතා කරන්නට ඇත්තේ සමාන ක්‍රමයක් විය යුතුය. විදුහල්පති කාර්යාලයේ සිදුවූ ගිනි ගැනීමට අදාළ සීසීටීවී දර්ශණ නැවත නැවතත් නරඹමින් ඔහු සිදුවූ ගිනි සිද්ධීන්වල යම් සමානකමක් සොයා ගනීමට උත්සාහ කළේය.
වරක් දෙවරක් තෙවරක් නැරඹුවද සීසීටීවී දර්ශණ වල වූයේ එකම දෙයකි. විදුහල්පති තුමා තම මේසය මත සිට පරිගණකයේ යම් කටයුත්තක නියලී සිටින ආකාරයත් අනතුරුව සවස හතරට කාර්යාලයෙන් එළියට යන ආකාරයත් ඉන් පැය බාගයකට පමණ පසු එක්වරම මේසය මත වූ කොළ අතරින් දුමක් මතුවන ආකාරයත්, අනතුරව එය ඉබේම ගිනි ගන්නා අයුරුත් එහි පැහැදිළිව සටහන්ව තිබුණි. නමුත් ජයදේව උත්සාහය අතහැරියේ නැත. සියවන වාරයටත් එම දර්ශණ නරඹද්දී ඔහුට එතරම් වැදගත් යයි නොසිතුනද සිද්ධීන් අතර යම් සමානකමක් සිතට නැගුනේය.  ගින්න ඇතිවීමට පෙර තමා සිටියේ පරිගණකයේ ප්‍රශ්ණ පත්‍ර සකසමිනි, කාර්යාලයෙන් පිටවීමට මත්තෙන් විදුහල්පති තුමා සිටින්නේද පරිගණකයෙන් සහතික පත් වගයක් මුද්‍රණය කරමිනි, පළමු ගින්න ඇතිවූයේ පරිගණක විද්‍යාගාරය තුළය. හේතුවක් සිතාගැනීමට නොහැකි වුවත් මේ සෑම අවස්ථාවකටම පරිගණක සම්බන්ධයයි ඔහු ට නිකමට සිතුනේය.  තවත් හොඳින් නිරීක්ෂණය කරද්දී, ගින්න ආරම්භ වන්නේ මේසය මත වූ කොළ කිහිපයකින් නොව මේසය මත වූ ප්‍රින්ටරයේ වූ කොල මතින් බව ජයදේවගේ තියුණු නිරීක්ෂණයට හසුවිය.
යම් පමණකට මෝඩ අදහසක් ලෙස පෙනී ගියද මේ පිළිබඳව පරිගණක පිළිබඳව ප්‍රවීණයෙකුට පැවසිය යුතුයැයි ජයදේව සිතාගත්තේ සිය දහස්වරක් වීඩියෝ පටය නැරඹීමෙන් පසුව වුවද වෙනත් කිසිදු සබඳතාවයක් සොයා ගැනීමට ඔහු අපොහොසත් වීම හේතුවෙනි. ඒ අනුව ජයදේවගේ ඥාති පුත්‍රයකු වන මෘදුකාංග ඉංජිනේරුවරයකු වූ ධනුක ට ජයදේව මහතා සම්පූර්ණ සිදුවීමම සවිස්තරව විස්තර කළේය. අසභ්‍ය පිංතූර කිහිපයක් හේතුවෙන් පරිගණක ගුරුවරිය සමිතට බැණ වැදුණු ආකාරයත්, පාසලෙන් පැන යන්නට ගොස් අසුවී ඔහුට දඬුවම් කළ ආකාරයත්, ඒ මොහොතේ ඔහුගේ තර්ජනයත් පසුව ගිණි ගැනීම් සිදුවූ ආකාරයත් ධනුක විමසිල්ලෙන් අසා සිටියේය. අනතුරුව ඔහු වීඩීයෝ දර්ශණ පෙළ ද හොඳින් නිරීක්ෂණය කළේය.  ධනුක වසර ගණනාවක පළපුරුදක් සහිත මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ජයදේව විස්තර කළ සිදුවීමත්, තමා දුටු වීඩීයෝ දර්ශණ පෙළත් ඔහු මනසින් දිගින් දිගටම විශ්ලේෂණය කළේය. ජයදේව මහතා සැකකරන්නාක් මෙන් මේ ගිණි ගැනීම් ඇතිවන්නේ පරිගණක තුළින් නම් එය සිදුකළ හැක්කේ කෙසේදැයි ඔහු කල්පනා කර බැළුවේය. සාමාන්‍ය මේස පරිගණකයක් තුළ රත්වන කොටස් බොහොමයක් ඇතත් ගිණ්නක් ඇතිකිරිමට හැකි තරමට රත්වන්නේ පරිගණකය ඇතුලත ඇති එහි මොළය ලෙස ක්‍රියාකරන ප්‍රොසෙසරය පමණි. ප්‍රොසෙසරය සිසිල් කිරීමට විදුලි පංකාවක් සෑම පරිගණකයක් තුළම ඇත. මේ විදුලි පංකාව නැවතීමෙන් යමකුට ගිණ්නක් ඇති කළ හැකියැයි සිතුනද. විදුලි පංකාව නැවතීමෙන් ප්‍රොසෙසරය රත්වන්නට පටන් ගත්තද ගිණ්නක් ඇතිවීමට ප්‍රථමයෙන් එය පිළිස්සී යන බැවින් මේ ආකාරයට ගිණ්නක් ඇතිකළ නොහැකි බව ධනුක හොඳින්ම දැන සිටියේය.
එසේ නම් එය සිදුවන්නේ කෙසේද? ඔහු දිගින් දිගටම ඒ ඔස්සේ මනස මෙහෙයවීය. අවසානයේ ඔහු එක් දෙයක් සිතාගත්තේය. ජයදේව මහතාට දුරකථන ඇමතුමක් ලබාගත් ධනුක තමාට ඔහුගේත්, මේනකා මහත්මියගේත්, පරිගණක විද්‍යාගාරයේත් පරිගණක පරීක්ෂා කිරීමට අවශ්‍ය බව ඔහුට දන්වා සිටියේය.
ජයදේව ඒ ඉල්ලිම සඳහා මොහොතක් හෝ පමාවූයේ නැත. ඒ අනුව මුළින්ම ධනුක, ජයදේවගේ බාගයට පිළිස්සී ගිය පරිගණකයේ දෘඩ තැටිය  විශ්ලේෂණය කළේය. වාසනාවකට මෙන්ම පරිගණකය ගින්නට හසුවී තිබුනද එය දෘඩ තැටිය දක්වා පැතිරගොස් තිබුනේ නැත. පැයක පමණ වේලාවක් තිස්සේ සිදුකළ විශ්ලේෂණයකින් අනතුරුව, ජයදේවගේ නිරීක්ෂණය හුදු හිතළුවක් නොවන බව තහවුරු කරමින් ධනුක, එම දෘඩ තැටියෙන් යමක් සොයාගත්තේය.
මීළඟට අවශ්‍යව තිබුනේ සොයාගත් දෙය තහවුරු කර ගැනීමය. ඒ සඳහා පරිගණක විද්‍යාගාරයේ වූ පරිගණක පරීක්ෂා කිරීමට අවශ්‍ය විය. රාත්‍රී ජාමය වුව ද ඒ බව නොතැකූ ජයදේව මහතා විදුහල්පති දයානන්ද මහතාව ද දැනුවත් කරමින් වහ වහා ධනුක සමඟ පාසල් වෙත පැමිණියේය. ගිණි දෙවියා හෙවත් සමිත රන්දුනු ශිෂ්‍යයාගේ ගිනි මන්තරය හෙළිවෙමින් තිබුණි. ජයදේව මහතාගේ පරිගණකයේ වූ දෑ ට සමාන දෙයක් ධනුක පරිගණක විද්‍යාගාරයේ පරිගණක තුළින්ද සොයා ගැනීමට සමත් විය.
තම සොයාගැනීම වඩාත් තහවුරු කරගැනීම සඳහා මේනකා මහත්මියගේ පරිගණකය ද පරීක්ෂා කිරීමට යෝජනා කරනු ලැබුවේ ධනුක විසින්මය. මේනකා මහත්මියගේ නිවසේ ගින්නක් හට නොගත්ත ද ඇගේ පරිගණකයෙන් ද පෙර පරිගණක දෙකෙහිම වූ දෑ සොයාගැනීමට ධනුක සමත්විය. අනෙක් අයට තරමක් පැටළිලි සහගත වුව ද ධනුක සිටියේ සිනහ වෙමිනි. ගිණි දෙවියාගේ ගිනි මන්ත්‍රය ඔහු සම්පූර්ණයෙන්ම අනාවරණය කරගෙන සිටියේය.
"ඇත්තටම මේ ළමයා කොහොමද ඔහොම ගින්නක් හදන්නේ..."
දයානන්ද මහතා ඇසුවේ කිසිවක් සිතාගත නොහැකිවය.
මම පැහැදිළි කරන්නම්....” ධනුක ඉදිරිපත් විය.
"ඒක කරන්නේ බොහොම පොඩි පරිගණක මෘදුකාංග වැඩසටහනකින්... කාටත් තේරෙන බාසාවෙන් කිව්වොත් පරිගණක වෛරසයකින්...."
ජයදේව මහතාත්, දයානන්ද මහතාත්, මේනකා මහත්මියත් මුහුණට මුහුණ බලාගත්හ.
" ඒක මම කරලම පෙන්වන්නම්..." යි පැවසූ ධනුක පරිගණකය ක්‍රියාත්මක කරවීය. ප්‍රින්ටරයේ කොළ තිබුනේ නැත එහෙයින් මේනකාගෙන් ඉල්ලා ගත් කොළ කිහිපයක් ධනුක ප්‍රින්ටරය තුළට ඇතුළු කළේය. අනතුරුව විනාඩි කිහිපයක් බලාපොරොත්තුව සිටියහ මඳ වේලාවක් ගත වන විට ප්‍රින්ටරයේ කොළ අතරින් දුම් නගින ආකාරයද තවත් මොහොතකින් එම කොළ වලින් ගින්නක් හටගන්නා ආකාරය ද පිරිස බලා සිටියේ විශ්මයෙනි.
"ප්‍රින්ටරයේ තියෙනවා රත්වෙන කොටසක් (Print Fuser). ඒකෙන් තමයි ප්‍රින්ට් කරන්න යොදාගන්න තීන්ත වේලීම සිදුකරන්නේ. මේ කොටසේ රත්වීම පාලනය කරන්න පාලක ස්විචයක් තිබෙනවා. මේ මෘදුකාංගය  එහෙම නැතිනම් මේ වෛරස් එක මගින් කරන්නේ අන්න ඒ පාලක ස්විචය ක්‍රියා විරහිත කිරීම. මේ නිසා ප්‍රින්ටරයේ රත්වන කොටස පාලනයකින් තොරව රත්වෙන්න පටන් ගන්නවා. අවසානයේ මොකද වෙන්නේ ප්‍රින්ටරයේ තියෙන කොළ ගිනි ගන්න පටන් ගන්නවා."
ධනුක පැහැදිළි කළේය.
"එතකොට කොහොමද මේ ළමයා මේ වෛරස් එක අපේ කොම්පියුටර් වලට යැව්වේ...?"
දයාන්නන්ද මහතා කල්පනාකාරී විය.
"ඔෆිස් එකේ කම්පියුටරය නම් තියෙන්නේ ඇතුළට එන ඕන ළමයෙකුට අල්ලන්න පුළුවන් විදියට... ඒත් මගේ ගෙදර කම්පියුටරය"
ජයදේව මහතා ඇසුවේය.
"සමහර විට ඉන්ටර්නෙට් හරහා එහෙම නැතිනම් පෙන් ඩ්‍රයිව් එකකින් එහෙමත් නැතිනම් මේල් එකකින්, ධනුක කියාගෙන ගියේය."
තමා දෙසතියකට පමණ ඉහත දී එකොළහ වසර ළමයෙකුගේ ළඟ තිබී පෙන් ඩ්‍රයිව් එකක් ලබාගත් ආකාරයත් එය තම නිවසේ පරිඝනකයට සම්බන්ධ කොට බැළු බවත්, එහිතුළ 18+ ලෙස නම් කරන ලද ෆෝල්ඩරයක් තිබුණද එය විවෘත කිරීම තුළින් ළමයාට චෝදනා කළ හැකි කිසිවක් හමු නොවූ බවත් ජයදේව සිහිකළේ කණගාටුවෙනි. සමහර විට එම පෙන් ඩ්‍රයිව් එක අයිති ළමයා සමිත රන්දුනුගේ මිතුරකු විය හැකිබවත් පෙන් ඩ්‍රයිව් එක තමාට අසුවන්නට සැළැසුවේ සිතාමතාම විය හැකි බවත් ඔහුට සිතුණි.
මට තව ප්‍රශ්ණයක් තියෙනවා... අපි තුන් දෙනාගෙම කොම්පියුටර් වල මේ වෛරසය තිබුණට ගිනිගත්තේ අපි දෙන්නගේ විතරයි. මේනකාගේ ප්‍රින්ටරයක් තිබිලත් ගිනි ගත්තේ නෑ.... ඒ කොහොමද?" දයානන්ද මහතා යළිත් ධනුකගෙන් ඇසීය.
ධනුක විස්තර කළේය.
ගින්නක් ඇතිවෙන්න කාරණා තුනක් සම්පූර්ණ් වෙන්න ඕන එක අවශ්‍ය උෂ්ණත්වය තියෙන්න ඕන, ඒක ඇතිකරනවා ප්‍රින්ටරයෙන් ඒ වගේම දහන පෝෂක වායුවක් තියෙන්න ඕන ඒ කියන්නේ වාතයේ තියෙන ඔක්සිජන් වායුව, ඒ වගේම දහ්‍ය ද්‍රව්‍යයක් තියෙන්නත් ඕන ගිනි ගත්ත ප්‍රින්ටර් දෙකේම කොළ තිබුනා. ඒත් මේනකාගේ එකේ කොළ ඒ කියන්නේ දහ්‍ය ද්‍රව්‍යය තිබුනේ නෑ. අන්න ඒකයි මේනකාගේ ගෙදර ගිනි ගත්තේ නැත්තේ.
ගිනි දෙවියාගේ අභිරහස විසඳී ගියේය.
"ඒත් මට එක ප්‍රශ්ණයක් තියෙනවා" අවසානයේ ධනුක පැවසීය
"කොහොමද එකොළහ වසරේ ළමයෙක් මේ වගේ සංකීර්ණ වෛරසයක් නිර්මාණය කරන්නේ?"
එයට පිළිතුර මේනකා දැන සිටියාය.
"ඒ ළමයාගේ අයියා මම දන්න විදියට විශ්ව විද්‍යාලේ පරිගණක විද්‍යා ශිෂ්‍යයයෙක්"
"එහෙම නම් මේකට මේ ළමයා විතරක් නෙවි අයියත් වැරදි කාරයෙක්. මේ වෛරසයේ මුල් පිටපත අයියගේ පරිගණකයෙන් හොයාගන්න පුළුවන් වේවි. ඒකෙන් අපිට ඔප්පු කරන්න පුළුවන් මේ ළමයම තමයි මේක කළේ කියලා... කොහොම උනත් මේක දැන් අපරාධ සිද්ධියක් හොඳම දේ මේ විස්තර ඔක්කොම පොලීසියට බාර දෙන එක."
***************************************
සමිත රන්දුනුගේ නිවසට පොලීසිය කඩා පනින විට සමිතත් ඔහුගේ අයියාත් දෙදෙනාම නිවසේ සිටියහ. එක්වරම නිවසට කඩ වැදුන පොලිස් නිළධාර්‍රීන් පළමුවෙන්ම සමිතගෙ වැඩිමල් සොහොයුරාගේ ලැප්ටොප් පරිගණකය තම භාරයට ගත්හ. ඔවුන් බලාපොරොත්තු වූයේ මේ සිදුවීම් වලට සාක්ෂියක් ලෙස වෛරසයේ මුල් පිටපත ඔහුගේ පරිගණකයෙන් සොයා ගැනීමය. සියළු දෙනාම ඉදිරිපිට එක් නිළධාරියෙක් පරිගණකය ක්‍රියාත්මක කරවීය. ගතවූයේ නිමේෂයකි ප්ලාස්ටික් උණුවී යන ගඳත් සමඟ ලැප්ටොප් පරිගණ්කය අතේ තබාගෙන සිටි පුද්ගලයාගේ දෑතින් පරිගණකය ගිලිහී ගියේ ඔහුගේ අත පිළිස්සෙන්නට ගත් බැවිනි.
බිම වැටුනු පරිගණකය"බ්ලෆ්" යන හඬ අනුකරණය සහිතව ඇතිවූ ගින්නකින් වෙළී ගියේය.

අසළ සිටි නිළධාරීන් තෘෂ්නිම්භූතව මුහුණට මුහුණ බලා ගත්හ.

8 comments:

  1. පොඩ්ඩක් විතර විස්තර වැඩි ගතියක් තියෙනවා උනත් හොඳයි කියලයි හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... විස්තර වැඩියි කිව්වේ මොනවා ගැනද?

      Delete
    2. කෙටිකතාවක් නිසා සමහර සිද්ධි සහ පරිසර විස්තර කරනකොට එක්කෝ දෙබස් භාවිතා කිරීම, නැත්තම් සකසුරුවම් විදියට වචන භාවිතා කරන්න තිබුනා කියන එකයි මම අදහස් කලේ.
      උදා. මෙන්න මේ ජේදය
      //යම් පමණකට මෝඩ අදහසක් ලෙස පෙනී ගියද මේ පිළිබඳව පරිගණක පිළිබඳව ප්‍රවීණයෙකුට පැවසිය යුතුයැයි ජයදේව සිතාගත්තේ සිය දහස්වරක් වීඩියෝ පටය නැරඹීමෙන් පසුව වුවද වෙනත් කිසිදු සබඳතාවයක් සොයා ගැනීමට ඔහු අපොහොසත් වීම හේතුවෙනි. ඒ අනුව ජයදේවගේ ඥාති පුත්‍රයකු වන මෘදුකාංග ඉංජිනේරුවරයකු වූ ධනුක ට ජයදේව මහතා සම්පූර්ණ සිදුවීමම සවිස්තරව විස්තර කළේය. අසභ්‍ය පිංතූර කිහිපයක් හේතුවෙන් පරිගණක ගුරුවරිය සමිතට බැණ වැදුණු ආකාරයත්, පාසලෙන් පැන යන්නට ගොස් අසුවී ඔහුට දඬුවම් කළ ආකාරයත්, ඒ මොහොතේ ඔහුගේ තර්ජනයත් පසුව ගිණි ගැනීම් සිදුවූ ආකාරයත් ධනුක විමසිල්ලෙන් අසා සිටියේය. අනතුරුව ඔහු වීඩීයෝ දර්ශණ පෙළ ද හොඳින් නිරීක්ෂණය කළේය. ධනුක වසර ගණනාවක පළපුරුදක් සහිත මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ජයදේව විස්තර කළ සිදුවීමත්, තමා දුටු වීඩීයෝ දර්ශණ පෙළත් ඔහු මනසින් දිගින් දිගටම විශ්ලේෂණය කළේය. ජයදේව මහතා සැකකරන්නාක් මෙන් මේ ගිණි ගැනීම් ඇතිවන්නේ පරිගණක තුළින් නම් එය සිදුකළ හැක්කේ කෙසේදැයි ඔහු කල්පනා කර බැළුවේය. සාමාන්‍ය මේස පරිගණකයක් තුළ රත්වන කොටස් බොහොමයක් ඇතත් ගිණ්නක් ඇතිකිරිමට හැකි තරමට රත්වන්නේ පරිගණකය ඇතුලත ඇති එහි මොළය ලෙස ක්‍රියාකරන ප්‍රොසෙසරය පමණි. ප්‍රොසෙසරය සිසිල් කිරීමට විදුලි පංකාවක් සෑම පරිගණකයක් තුළම ඇත. මේ විදුලි පංකාව නැවතීමෙන් යමකුට ගිණ්නක් ඇති කළ හැකියැයි සිතුනද. විදුලි පංකාව නැවතීමෙන් ප්‍රොසෙසරය රත්වන්නට පටන් ගත්තද ගිණ්නක් ඇතිවීමට ප්‍රථමයෙන් එය පිළිස්සී යන බැවින් මේ ආකාරයට ගිණ්නක් ඇතිකළ නොහැකි බව ධනුක හොඳින්ම දැන සිටියේය.
      //

      මෙතරම් දිගට නැතුව දෙබස් විදියට ඉදිරිපත් කරමින් ඒ අතරතුර පොඩි විස්තර ලිව්වා නම් කියවන්නාට පහසු සහ තවත් රසවත් වෙනවා.

      මම මේ කියන්නේ ඔබේ නිර්මාණය හොඳ නැහැ කියල නෙවෙයි. තව ඉදිරියට ලියනකොට අතිසාර්ථක වෙන්න පුළුවන් නිසයි. මල්පිපෙන ගස් වලට එපැයි පොහොර දාන්න... කොළ හැදෙන ගස් වලට පොහොර ඕනේ අඩුවෙන්.

      ධනාත්මකව ගනීවි කියල බලාපොරොත්තුවෙන් දැම්මේ.

      Delete
    3. බොහොම ස්තූතියි උපේක්ෂා... පැහැදිලිවම ඔබ උපුටා දක්වපු කොටස කියවද්දී මටත් හිතුනා ඔබ කියන විදියට වෙනස් වුනා නම් කියවන්නට වඩාත් පහසු බව. බොහොම ස්තූතියි එය පෙන්වාදීම ගැන

      Delete
  2. මේක නම් සුපිරි. තාක්ෂණික වශයෙන් උපකල්පන බොහොමයක් මේ සඳහා සත්‍යෙක්ෂණය වෙන්න ඕන වුනත්. නිර්මාණශීලීත්වය නම් කදිමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඔව් තාක්ෂණික වශයෙන් ඉතාම අපහසු කටයුත්තක්. නමුත් සිදුවිය නොහැක්කක් නොවෙයි. ප්‍රින්ටරය භාවිතයෙන් මෙවැනි ගිණි තැබීමක් කළ හැකි බවට වසර කීපයකට පෙර කොළොම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් ආනතුරු අඟවා තිබුණා. අදාල ප්‍රින්ටරය නිෂ්පාදනය කරන සමාගම එය ප්‍රතික්ෂේප කළත් එකළ ඔවුන් තමන්ගේ ප්‍රින්ටරය සහ අදාල මෘදුකාංග වහාම වෙනස් කළ බවයි පැවසෙන්නේ. ඒ වගේම කතාව තුළ සඳහනක් පමණක් ඇති ලැප්ටොප් පරිගණකයේ ගිණි ගැනීම, කෙසේ සිදුකළේ දැයි මේ කතාව තුළ විස්තර නොකෙරුනත් එය ප්‍රින්ටරයක් ගිණි තැබීමට වඩා පහසු ක්‍රමයක්. ඉදිරි කතාවකදී ඒ පිළිබඳව විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා.

      Delete