“අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් කරපු එක මම නම් කියන්නේ සම්පූර්ණයෙන් වැරදියි”
මෙහෙම කිව්වේ දවසක් අපේ පංතියේ හිටපු ලපටියා
“ජාතික ක්‍රීඩාව කරන්න ඕන හරිනම් උස පැනීම”
මේ ලපටියා කිව්වොත් ඉතින් ඔහොම හතර බීරී කතාවක්ම තමයි
“ඒ මොකද බොල උඹ එහෙම කියන්නේ……????”
“ඇයි බූරුවෝ අපේ කොල්ලෝ ඉස්කෝලවල තාප්ප වලින් පනින හැටි හිතුවම අපේ අයට උස පැනීමට තියෙන්නේ ජාත්‍යනතර මට්ටමේ හැකියාවක් නෙවෙයිද…”
ඒ කතාවත් එක අතකින් බලාගෙන ගියාම ඇත්ත තමයි. අපිටත් ඉස්කෝලේ යන කාලේ
තාප්පේ පෙන්නන්න බැහැ නෙව ඕකෙන් එහා පැත්තට පනින්නමයි හිතෙන්නේ. ඇත්තටම
ඉතින් අපි ඔය තාප්පෙන් පනින්නෙත් වැඩක් ඇතුවමත් නෙවි, කොළුකමට අනික ඉතින්
ඉස්කෝලේ දහස් ගනන් වියදම් කරලා මහන්සිවෙලා තාප්ප බැඳලා තියෙන්නේත් ළමයින්ට
ඒවයින් පනින්න නෙව. අපේ ඉස්කෝලේ තුන් පැත්තකින්ම් තිබුනු තාප්පේ අඩි
විස්සකටත් වඩා උසයි. ඒවායින් නම් පැනලා තේරුමක් නෑ, මොකද උදේ හතහ මාරට
පැන්නොත් දවල් දෙක වෙනකම්ම බිමට වැටෙනවා. ඒවා ඒ තරම් උසයි. ඒක නිසා ඒවයින්
නම් කවුරුත් පනින්න ගියේ නෑ . ඉස්කෝලේ දකුණු පැත්තේ මායිමේ තිබුනේ පන්සලක්
ඉතින් ඒ පැත්තේ තාප්පේ විතරක් ඒ තරම් උස නැහැ, උස පනින කට්ටිය හුඟක් වෙලාවට
පැන්නේ ඔය පැත්තේ තාප්පෙන් තමයි. තාප්පෙන් පනින්න ගිහිල්ලා වෙච්ච දේවලුත්
අනන්තයි අප්‍රමාණයි සාරාසංඛ්‍යයි, මේ කියන්න යන්නේත් ඒ වගේ කතාවක්, හැමදාම
කියන ඩිස්ක්ලේමර් එක හිනා යන්නේ නම් නෑ ඔන්න……..
එදා සිකුරාදා දවසක්, උදෙන්ම අපිට තිබුනේ කෙමිස්ට්‍රි, ඉගැන්නුවේ මාරි
කියුරි කියලා මිස් කෙනෙක්, එයාම තමයි අපේ පංතිභාර ගුරුතුමී. උගන්වන ඒවා නම්
අපිට තියා ඩෝල්ටන්ට වත් තේරෙන එකක් නෑ, ඒත් ඉතින් මිස් ළමයින්ට නම් බොහොම
කරුණාවයි. උගන්වන ඒවා කොහොම උනත් කොල්ලෝ ටික මීක්… නැතිව පංතියේ ඉන්නේත්
ඒකමයි කෙමිස්ට්‍රී වලින් පස්සේ තිබුනේ ෆිසික්ස් හා බොට්නි, ඒ දෙක උගන්වන
ගුරුවරු දෙන්නම එදා ඉස්කෝලේ ඇවිත් නැහැ, ඒ කියන්නේ දවසේ ඉතුරු ටිකම අපිට
වැඩක් නැහැ. වැඩක් නැතුව නිකන් ඉස්කෝලෙට වෙලා ඉන්නේ චක්ගුඩු පනින්ටය, අපි
තීරණය කලා තාප්පෙන් පැනලා ලපටියගේ ගෙදර යන්න. ඒ වගේ කුසල් සිතක් පහල උනාම
ඉතින් මොකට නම් තව සුනංගු වෙනවද ගත්තා බෑග් ටික ගිහින් පැන්නා කට්ටියම
තාප්පෙන් එළියට.
අපේ සාමාන්‍ය විදිය තමයි පන්සල් වත්තට පැනලා පන්සලේ තාප්පෙන් එළියට පනින
එක ඒත් මොකක්දෝ අවාසනාවකට එදා අපි පන්සල් වත්තට පැනලා පන්සලේ ගේට්ටුවෙන්
එලියට ආවා. ගේට්ටුවෙන් එළියට බැහැපු ගමන් දැක්ක දේට අපි කට්ටියටම හීන්
දාඩිය දැම්මා. ඉස්කෝලේ විනය පාලක හිට්ලර් සර් තවත් ගුරුවරු දෙන්නෙක් එක්ක
පන්සලේ ගේට්ටුව ලඟ. අපි කට්ටිය අතේ මාට්ටු……. ආයේ මොනවද ඉතින් “චටාස්….
පටාස්….” කට්ටියටම බඩ කට පුරවලා හම්බවුනා මදී නොකියන්න, ඊට පස්සේ කට්ටියම
දක්කාගෙන ආවා ප්‍රින්සිපල් තුමා ගේ ඔපීසියට. එතනදිත් ගුටි සීයයයි බැනුම්
කෝටියයි. ඊටත් වඩා හිට්ලර් සර් කාගෙත් වීරයා වෙලා ඇයි පැනලා ගිහිපු කොල්ලෝ
සෙට් එකක්ම අල්ලගෙන නෙව. මේ හිට්ලර් සර් සහ අපේ පන්ති භාර මාරි කියුරි මිස්
දෙන්නා නයයි පොළඟයි වගේ දෙන්නට දෙන්නා කොයි වෙලාවෙත් අනෙක් කෙනාගේ
වැරැද්දක් අල්ල ගන්න තමයි බලන් ඉන්නේ අපිව අහුවීම ඉතින් හිට්ලර් ට අඬන්න
ඉන්න ගෑනිගේ නහය මිරිකුවා වගේ, මාරි කියුරිට උණ ගැනෙන්න හිට්ලර් අපිට
දඬුවම් කරන්න හදන්නේ. මොනවා කරන්නද අපිත් ඉස්කෝලේ පිට්ටනිය මැද්දේ ගිනි
අව්වේ උදේ දහයා මාරේ ඉඳන් හවස එකහ මාර වෙනකම් ම දනගහගෙන හිටියා. එදා
හිට්ලර් අපිට දඬුවම් කරේ ටිකක් අමානුෂික විදියට කියලයි මට නම් හිතුනේ, මොකද
අපේ ඇබිත්තයා වතුර ටිකක් බොන්න හදද්දී සර් බෝතලේත් උදුරගෙන් ගියා. ඒ
විතරක් නෙවෙයි ඉස්කෝලේ දන්න කියන හැමදෙනාම ගෙනල්ලා තමන්ගේ වීර ක්‍රියාව
පෙන්වන්නත් සර් අමතක කරේ නෑ අන්තිමට අපිට සඳුදට අම්මා තාත්තා එක්කන් එන්න
නියම උනා, ඒ විතරක් නෙවෙයි සති දෙකකට පාසල් තහනමක් පනවන්ටත් තීරණය වෙලා
තිබුනේ. එදා අපි පාසලෙන් පිටවෙලා ගියේ මේ තීරණවලින් හිත බර කරගෙන.
****************************************************************
පහුවෙනිදා සෙනසුරාදා, අපි කට්ටියම උදේ කොට්ටාවේ ලපටියගේ ගෙදරට එකතුවුනේ සඳුදට අපිට මූන දෙන්න වෙන ප්‍රශ්ණෙට පිළිතුරක් හොයන්න.
” දැන් අපිට වෙන කරන්න දෙයක් නැහැ මචං….. අපි කොහොමහරි මේකට මූන දෙන්න
ඕන….. පංති තහනම් කලොත් සති දෙක නේ මචං…… ඒ සති දෙක කොහොම හරි ඇදගමු…….”
පැය කීපයක වාද විවාද වලින් පස්සේ ඇබිත්තයා කියපු කතාවට අපි හැමෝම එකඟ
උනා. ඇත්තටම ඒ තීරණයට එනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් තිබුනෙත් නැහැ
වාසනාවකට වගේ මට ලපටියට, ඇබිත්තයාට අම්මා තාත්තා කියලා ඉස්කෝලෙට එක්ක යන්න
කට්ටිය කලින්ම සැට් කොරලා තිබුනේ හැබැයි අපේ වෙල්මාළුවට තමයි වැඩේට
කවුරුවත් සැට් වෙලා නොහිටියේ. කීප දෙනෙකුටම කතා කළත් වැඩේට හරියන හරිහමන්
කෙනෙක් හොයාගන්න බැරිඋනා. අන්තිමට අපේ ලපටියටම මතක් උනා වැඩේට හරියටම
ගැලපෙන කෙනා, නමින් නම් සම්පත් අයියා……, අවුරුදු 45 ක විතර කිරිමේල්
බුවෙක්, ඉන්නෙත් ලපටියලගේ ගෙවල් කිට්ටුව මයි. ලපටියා ගත්තා කෝල් එකක්
සම්පත් අයියගේ ගෙදරට, අපේ වෙලාවට මිනිහා ගෙදර.
“වරෙන් වරෙන් මල්ලී මම දැන් ගෙදර ඉන්නේ” සම්පත් අයියගේ ප්‍රතිචාරේ
හොඳයි. කියන පරක්කුවෙන්ම කට්ටිය පාරට බැස්සා. සම්පත් අයියලාගේ ගෙදරට යන්න
පාරවල් දෙකක් තියනවා, එකක් බස් පාර ඒකේ හෝල්ට් දෙක තුනක් බස එකක යන්න ඕන.
අනෙත් එක වෙලක් මැදින් ගිහින් තව ගමක් මැදින් යන්න තියෙන්නේ හැබැයි පයින්
යන්න පුළුවන් ඇවිද්ද පය දහස් වටී කියලා අපි තෝරා ගත්තා පයින් යන්න. වෙන
මොකුත් නැති වුනොත් ඇවිදලා ඇවිදලා කකුල් දෙක දෙදාහකටවත් විකුණලා දාන්න
බැරිය. ඔන්න ඉතින් අපි කට්ටිය දැන් වෙල් මැදින් නියර වල් උඩින් ගුරු පාර
වලින් සම්පත් අයියලගේ ගෙදරට යනවා, මෙහෙම විනාඩි දයක් විතර යනකොට අපි සම්පත්
අයියලගේ ගේ පේන නොපෙනෙනෙ දුරින්. එකපාරටම ඉස්සරහ ගෙදරකින් චැලියක් දැම්මා
පාරට හරියටම අපේ ඉස්සරහින්. දෙයියන්නටම ඔප්පු වෙච්චාවේ………..!!!!! . චැලියේ
හිටපු කෙනා දැක්කම මට විතරක් නෙවෙයි අපේ කට්ටියටම හීන් දාඩිය දැම්මා.
හිට්ලර් සර් අපේ ඉස්සරහ…………… කට්ටියගෙම කටේ කෙලත් හිඳිලා
“ස………. ස ……….ස……. ර් කො… කො……. කොහෙද මෙහේ…..”
ඇබිත්තයා ගොත ගහනවා හිට්ලර් සර් ගේ ගෙවල් ගල්කිස්සේ…. ඉතින් සර් මෙහෙම මේ වෙලාවේ කොට්ටාවේ ඉන්න නම් කිසිම විදියක් නෑ…..
පු…… පු………පු……. තා…. ආ..ආ….ආ …. මමම …. මේ මේ…..
හත් ඉලව්වට ගහපු කළාබරයයි…………!!! සරුත් ගොත ගහනවා…..
ඒ මදිවට සර්ටත් හීන් දාඩිය දාලා හොඳටම කළබල වෙලා මූනත් ජම්බූ ගෙඩිය වගේ
රතු වෙලා….. සර් දැක්කම අපි කළබල වෙන එක හිතාගන්න පුළුවන් වුනත් අපි දැක්කම
සර් කළබල වුනේ මොකද කියලා අපිට එකපාරටම මීටර් වුනේ නෑ.
ඒත් වටපිට බැළුවම සර් ආපු ගෙදර ඉස්සරහා හිටගෙන ඉන්නවා බොහොම දුහුල් රෑ
ඇඳුමක් ඇඳගත්ත ගෑනු මනුස්සයෙක්, තක්බීර් වෙලා අපි දිහා බලාගෙන, මේක දැක්ක
විතරයි ගන්දරයගේ ටිකිරි මොලේට මීටර් උනා වෙච්ච සන්තෑසියම. මෙන්න මේවට තමයි
දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියන්නේ……,
සර් නැට්ට අගින්ම බයවෙලා…. ඊයේ සිංහයෙක් වගේ ගෝරනාඩු කරපු හිට්ලර් අද
අහිංසක පූස් පැටියෙක් වගේ අපි කට්ටියට නොවඳිනා වැඳුම් වඳිනවා, වෙච්ච දේ
කාටවත් කියන්න එපා කියලා….
කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ… කිව්වලු පිස්සුද සර් අපි එහෙමත්
ඕවා කියනවද එක එක්කෙනාට, ඔය විශ්වාස වන්තම හත් අට දෙනෙකුට කියයි ඕනනම්.
කොහොම උනත් සර් එදා ඒතනින් ගියේ වල්ගේ කප්පාදු කොරාපු හරකෙක් වගේ…
ඊළඟ සඳුදා අපි ඉස්කෝලේ ගියේ විජිතපුර සටනට ගිහින් එන ගැමුණු කුමාරයා
වගේ, පංති තහනම් නියෝග , දෙමව්පිය කැඳවීම් වලට වෙච්ච දෙයක් නෑ……. හැබැයි
හිට්ලර් සර් නම් ඊට පස්සේ කිසිම වෙලාවක අපේ මූනට මූන හම්බ වෙන්න නම් ආවේ
නෑ………
මේක නම් මරු. මගේ ඉස්කොලේ කාලේ කතාවක් වගෙයි.
ReplyDelete