Showing posts with label සිහිනය දිගේ. Show all posts
Showing posts with label සිහිනය දිගේ. Show all posts
Wednesday, December 26, 2012
සිහිනය දිගේ.... (12 කොටස )
මේධා දෑස් පියාගෙන හාන්සිවී
සිටියත් ඇයට නින්ද ගොස් තිබුනේ නැත. නිවසේ බිත්ති ඔරලෝසුවේ රාත්‍රී දොළහ සටහන්වනු
ඇයට ඇසිනි. මේධා ඇඳේ අනෙක් පස නිදන සැමියා දෙස බැලුවාය. ඔහු සීතලට පොරෝනය තුලට
ගුලිවී නිදයි. ඔහු ජීවත්වන්නේ වෙනම ලෝකයකය. ඔහුට මේවා කියා ඵලක් නැතැයි ඇය සිතුවාය. ඇය අනිත් ඇලයට හැරුනේ ඔහු ගැන සිතේ
උපන් කෝපයත් සමඟය.
Sunday, December 16, 2012
සිහිනය දිගේ.... (11 කොටස )
අසංක වරුසවිතාන, හර්ෂණටත් ඔවුන්ගේ පක්ෂයටත් හිතවත් මාධ්‍යවේදියෙකි. මහේෂ් විජේසේකර ඇමතිවරයාගේ ඉතා විශ්වාසවන්තයකු වූ අසංක එදින උදෑසනම කොළඹ සිට දික්පිටිඔය නීතීඥ මාරතැන්න ගේ නිවසට පැමිණියේ රහසිගත සැලසුමක් ද සහිතවය. උදෑසනම දිල්මිව පාසලට ඇරලූ හර්ෂණද, වෙනදා සුපුරුදු ත්‍රී රෝද රථ නැවතුම මඟහැර අතුරු මාර්ග කිහිපයක් ඔස්සේ පැමිණ මාරතැන්න නිවසට ඇතුළු වූයේද අසංක මුන ගැසීමේ බලාපොරොත්තුවෙනි.
Friday, December 7, 2012
සිහිනය දිගේ.... (10 කොටස )
දහවල් දොළහට පමණ හර්ෂණ යළිත් දිල්මිගේ නිවසට ගියේය.
දිල්මිගේ මව නන්දාවතී හාමිනේ ඒ වන විටත් සිටියේ උයා පිහා පාර්සල් සාදා අවසන්ව, හර්ෂණ එනතෙක් බලාගෙනය.
නිවසට ගිය හර්ෂණ කෑම පාර්සල් ගත් සැනෙකින් නැවතත් අනෙක් පැත්තට හැරුනේ පාසල් නිමවන
වේලාවට පෙර එතනට යාමට අවශ්‍ය නිසා. තරමක් වේගයෙන් පැමිණියත් හර්ෂණ පාසල අසලට
ළඟාවුනේ පාසල නිමවී විනාඩි දහයකට පමණ පසුව.
Wednesday, November 28, 2012
සිහිනය දිගේ.... (9 කොටස )
"රුවන්, අද දවල් මාව
ගන්න එන්න ඉස්සෙල්ලා දොළහට විතර ආයෙත් අපේ ගෙදරට ගිහින් එන්න
පුළුවන්ද"
දිල්මි ඇසුවේ, හර්ෂණ සමඟ පාසල් යන තෙවන දින උදයේ, පාසලවෙත යන අතරතුරදී.
Tuesday, November 13, 2012
සිහිනය දිගේ.... (8 කොටස )
දිල්මිව පාසලට ඇරලවීමෙන් පසුව හර්ෂණ කෙලින්ම ගියේ නගරයේ ත්‍රීරෝද රථ නැවතුම්පොල වෙත. ඒ ඊයේ සවස විමලසේන මුදලාලි ඔහුට හඳුන්වාදුන් ජෙරාඩ් ව හමුවීමට.
ජෙරාඩ් ත්‍රී රෝද රථ හිමියෙක්, ත්‍රීරෝද රථ ගාලේ පාලනය නොනිල ලෙස පැවතුනේ ජෙරාඩ්ගේ භාරයේ. නගරයේ කුලී රථ ධාවනය වන්නේත් නවතින්නේත් ඔහුගේ කැමැත්ත අකමැත්ත මත. ජෙරාඩ් හර්ෂණව පිළිගත්තේ බොහෝ ලෙංගතුව.
"මල්ලිලා......, මේ අපේ විමලෙ මුදලාලි මහත්තයගේ වාහනේ, මේ මල්ලි තමයි අද ඉඳන් මේකේ වැඩ කරන්නේ"
ජෙරාඩ් කීවේ අනෙකුත් අයට හර්ෂණව හඳුන්වාදෙමින්
අනතුරුව ඔහු තම සගයකුට ඇමතුවේය
Sunday, November 11, 2012
සිහිනය දිගේ.... (7 කොටස )
හර්ෂණ පසුවදා පාන්දරින්ම විමලසේන මුදලාලිගේ නිවසට ගියේය. උදෑසන සීතලද නොතකමින් මගට බට ඔහු දෙස විරාජ් බලා සිටියේ එතරම් කැමැත්තකින් නොවේ. මොනවා කීවත් හර්ෂණ තම තීරණ වෙනස් නොකරන බව ඔහු අත්දැකීමෙන් දනී. ඒ නිසා කළයුතු හොඳම දෙය ඔහුට අවශ්‍ය පරිදි ක්‍රියාකිරීමය. උදෙන්ම මේ ගැන මාරතැන්න මහතාට දැනුම්දීමට විරාජ් සිතාගත්තේය.
හර්ෂණ පැමිනෙනෙ විට දිල්මී සිටියේ සූදානම්වෙමිනි. විමලසේන ඔහුව මෙතරම් උදෑසනින් බලාපොරොත්තු වූයේ නැත. උදෑසනම පැමිණි හර්ෂණ දුටු විමලසේනට ඔහුගේ උනන්දුව ගැන දැනුනේ සතුටක්.
Monday, November 5, 2012
සිහිනය දිගේ.... (6 කොටස )
අඩ නින්දේ සිටි හර්ෂණට ඇහැ ඇරුනේ කඩය තුල යම් කිසිවෙක් කතාකරන හඬින්. කථා කරන්නේ විමලසේන මුදලාලී බව හඳුනාගත් පසු හර්ෂණ කථාව අසා සිටියේ අවධානයෙන්. විමලසේන මුදලාලී, මාලීනී සමඟ කතා කරමින් සිටියේ හර්ෂණ ගැන, ඔහුව තම ත්රීන රෝද රියේ සේවයට යොදාගැනීම ගැන අදහස විමලසේන මුදලාලී මාලිනීට කිව්වේ මේ වෙලාවේ.
"මාලිනී... කොල්ලාට මම රස්සාවක් දෙන්නම්. අර චන්දනය ගියාට පස්සේ මගේ වීල් එක ගෙදර නිකං තියෙන්නේ... කොල්ලට කියපං ඒකේ වැඩ කොරන්ට කියලා"
Tuesday, October 30, 2012
සිහිනය දිගේ.... (5 කොටස )
උදෑසන සීතල දරාගෙනම හර්ෂණ නිවසින් එළියට බැස්සේ නාන තොට පැත්තට යන්න සිතාගෙන. නිවස පිටුපසින් ගලායන කෙහෙල්ගමු ඔය පහරේ සුන්දරත්වය විඳිමින්, ඔහු ඇවිදගියේ අරමුණකින් තොරව.
හර්ෂණ, මාලිනීගේ නිවසට පැමිණ මේ වන විට දින තුනක් ගෙවී ඇත. මේ දින තුන පුරාම ඔහු කලේ හොඳ හැටි නිදාගැනීම පමණි. ඡන්ද උණුසුම කෙමෙන් පහව යමින් තිබූ නිසා පුවත්පතක වත් විශේෂ සිදුවීමක් නැත. මැතිවරණය දා සිදුවූ ඝාතන සම්බන්ධව මහේෂ්ගේ ආරක්ෂකයන් දෙදෙනෙකු අතඩංගුවට ගෙන තිබුනද තවමත් ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු නිසියාකාරව ආරම්භ වී නැත. හර්ෂණට දුරකථන ඇමතුම් ලබාගැනීම පවා තහනම් කර තිබුනෙන් කොළඹ සිදුවන්නේ කුමක්දැයි හරියටම කියන්නට හර්ෂණ හෝ විරාජ් දෙදෙනාම දැන සිටියේ නැත.
තමා කොළඹ සිට හිරේට ගියා නම් මීට වඩා දහස් ගුනයක් හොඳයැයි හර්ෂණට සිතුනේ වරක් දෙවරක් නොවේ, අඩුම තරමේ එසේ වූවා නම් කතාකරන්නට වත් නිදහස ඇත, හිරේ නොගියත් දැන් මේ සිටින්නට සිදුවී ඇති විදිය හිරේ ගියාට අන්තය . තුසිත වනිගසූරියගේ මරණයට තමා වගකිව යුතුයැයි කිසිදු පසුතැවීමක් ඔහුට නැත. හර්ෂණගේ මතය තමා අවස්ථාවට ගලපෙන ලෙස ක්‍රියා කලා මිස තුසිත වනිගසූරිය මරා දැමීමේ අදහසක් තමා තුල නොවූ බවයි. එහෙයින් කිසිවිටෙකත් ඔහු තුල වරදකාරී හැඟිම් හෝ පසුතැවීමක් ඇතිවූයේ නැත.
Wednesday, October 24, 2012
සිහිනය දිගේ.... (4 කොටස )
දහවල් කෑමෙන් පසුව හර්ෂණත් විරාජුත් තනුජාත් නාන්නට ගියෝය. මාලිනීගේ නිවසට පිටුපසින් ගලා යන්නේ කෙහෙල්ගමු ඔයයි. මේ ඔය පහරේ මඳක ඉහලට ගිය තැන නාන තොටක් ඇත. පිරිස නාන්නට ගියේ මේ නාන තොටටය.
හර්ෂණ සොබා සෞන්දර්යය විඳින්නට බොහෝ කැමතිය. හොඳින් ඉර පායා තිබුණු බැවින් අවට කඳු වලල්ල වට කර ගෙන ගලා බසින ඔය වඩා ලස්සන ව පෙනුනි.
Monday, October 22, 2012
සිහිනය දිගේ.... (3 කොටස )
සීතල කඳුකරයට ඉර පායන්නේ පමා වීය. හර්ෂණට ඇහැ ඇරෙන විට පසුදා උදෑසන නවය පමණ වී තිබිණි. එක්වරම ඔහුට තමා මේ සිටින්නේ කොහේදැයි සිතාගත නොහැකිවිය. ඊයේ සිදුවූ සිදුවීම පෙළ ඔහුගේ මතකයට ගලා ආවේ සෙමිනි. ඒ සිතුවිලි අවසානයේ ඔහුගේ මුවින් සුසුමක් නැගුනේ තමා අද සිට හර්ෂණ නොවන බව මතක් වීමෙන්. ඔහු පොරවාගෙන සිටි රෙද්ද ඉවත් කරමින් නැගිට්ටේය. තමා පුටුව උඩ නින්දට වැටී සිටියදී කවුදෝ රෙද්දක් පොරවා ගොස් ඇත. බොහෝ විට ඒ තනුජා වන්නට ඇත.
Thursday, October 18, 2012
සිහිනය දිගේ.... (2 කොටස )
"සුදු බේබිට නින්ද ගිහින්ද"
පිටුපස හැරුණු තෙන්නකෝන් ඇසුවේ දෑස් පියාගෙන පිටුපස අසුනේ සිටි හර්ෂණගෙනි. හිතවතුන් බොහෝ දෙනා හර්ෂණට කතා කලේ සුදු බේබි යන ආදර නාමයෙන්
"නැහැ තෙන්නකෝන් අංකල් මම අවදියෙන් ඉන්නේ"
"දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ සුදු බේබි, විරාජ් පාරට ඇවිල්ලා ඇති"
හර්ෂණ ඔරලෝසුව දෙස බැලීය, වේලාව අළුයම එක පසුවී විනාඩි හතලිහක් ගතව තිබිණි. මාර්ගය පාළුය, පැය කිහිපයක් පුරාවට ඇදවැටෙමින් තිබුණු වැස්ස දැන් තරමක් තද කර ඇත.
තෙන්නකෝන් මඟ දෙපස විමසිල්ලෙන් බලාගෙන ගියේ විරාජ් දකින බලාපොරොත්තුවෙනි, මාලිනීගේ නිවස පිහිටියේ මෙම මාර්ගයේ සිට කිලෝමීටරයක් පමණ ඇතුලට වන්නටය. මීට පෙර කිහිප වරක් පෙහි පැමිණ තිබුනත්,තෙන්නකෝන් සිටියේ මාලිනීගෙ නිවසට යායුතු අතුරු මාර්ගය හරි හැටි සොයාගැනීමේ අපහසුවෙනි.
කුඩයකුත් ඉහලාගෙන විදුලි පන්දමකුත් අතැතිව වැස්සේම පාරේ සිටගෙන සිටින විරාජ්ව මුලින්ම දුටුවේ හර්ෂණ.
"අහ් ඔය ඉන්නේ අංකල් විරාජ්"
රථයේ විදුලි පහන් වල සංඥාවට විරාජ්ගේ අතෙහිවූ විදුලි පන්දමෙන් පිළිතුරු ලැබුනෙන් වෑන් රිය නැවතුනි.
"එහෙම්නං සුදු බේබී මේ කරදර ටිකක් එහේ මෙහේ වෙනකම් ටිකක් වහං වෙලා ඉන්න"
තෙන්නකෝන් කිව්වේ බහින්න සූදානම් වූ හර්ෂණටය
"අංකල්ලා දැන් කොහාටද යන්නේ"
"අපි දැන් යනවා මාරතැන්න ලොයර් උන්නැහේලයි ගෙදරට.... ඒ ගිහින් හෙට උදේම ආපහු කොළඹ යනවා"
හර්ෂණ වෑන් රියෙන් බැස විරාජ්ගේ කුඩය යටට උනේ තෙන්නකෝන්ට සමුදෙමිනි. තෙන්නකෝන් පිටව ගිය පසු විරාජ් හා හර්ෂණ කුඩා අතුරු මාර්ගය ඔස්සේ නිවස කරා ගමන් ආරම්භ කලහ.
"මොකක්ද සුදු බේබි උනේ"
විරාජ් කතාව ආරම්භ කලේ රහසින් මෙනි
"වනිගසූරියලත් එක්ක පොඩි ගෝරියක් දාගත්ත නේ බං"
හර්ෂණ පිළිතුරු දුන්නේ සිනහවෙමිනි
"මං ඇහුවේ බේබි,කොයි පැත්තෙද වැරැද්ද... උන්ද අපි ද ඉස්සෙල්ලා ගේම පටන් ගත්තේ."
විරාජ් ඇහුවෙත් හර්ෂණගේ සිනහවට එකතු වෙන අතරතුර
"පොලිටික්ස් වලදි කොහේද බං හරි වැරදි, දෙගොල්ලොම වෙපන් තියාගෙන හිටියේ... අපි ටිකක් ඉක්මන් උනා... එච්චරයි. " යි කිව් හර්ෂණ උදේ සිටම සිදුවූ සිදුවීම් විරාජ්ට විස්තර කලේය.
විරාජ්, පෞද්ගලික ආරක්ෂකයකු ලෙස විජේසේකර ඇමතිවරයාගේ ආරක්ෂක අංශයට එක්වූයේ මෙයට අවුරුදු පහකට පමණ පෙරය. හිටපු යුධ හමුදා නිලධාරියෙක් වූ විරාජ්, හමුදාවෙන් ඉවත්ව විජේසේකර ඇමතිවරයාට එක්වූ දින සිටම සේවය කලේ හර්ෂණගේ ආරක්ෂකයකු ලෙසය. මේ නිසාම විරාජ් හර්ෂණට වඩා වසර හත අටක් වැඩිමහළු වුවද ඔවුන් දෙදෙනා ඇසුරු කලේ කළණ මිතුරන් ලෙසය. මේ කාර්යය උදෙසා විරාජ්වම තෝරා ගැනුනේත් ඒ මිතුරු කම නිසාමය.
කතාවෙන් කතාවෙන්ම ඔවුන් මාලීනී ගේ නිවසට ලඟා වුහ. මාලීනීත්, ඇගේ දියණිය තනුජාත් දෙදෙනාම සිටියේ අවදියෙනි. කාලයකට පසුව තම නිවසට පැමිණි හර්ෂණව මවත් දුවත් පිළිගත්තේ සාදරයෙනි.
"ආනේ සුදු පුතා....., කුඩ අරගෙන ගිහිල්ලත් හොඳටම තෙමිලා නෙව" මාලිනි කිව්වේ ඥාති පුත්‍රයා දෙස ආදරයෙන් බලමිනි
"මල්ලී තව සුදු වෙලා මහත්නුත් වෙලා" තනුජා කිව්වේ මවට එක්වෙමින්
"දුව මල්ලිට ඔළුව පිහිදාගන්න තුවායක් ගෙනත් දෙන්න.... මම කට්ටියටම කෝපි හදන්නම්" මාලිනි කිව්වේ කුස්සියට යන අතරතුර
"නංගී ඔයාගේ ෆෝන් එකෙන් මාරතැන්න මිස්ට කෝල් එකක් දෙන්න" විරාජ් කිව්වේ තනුජාටය.
හර්ෂණත් සෙසු පිරිසත් අතර පණිවුඩ හුවමාරුව සඳහා ඔවුන් සැලසුම් කර තිබුනේ තනුජා සහ නීතිඥ මාරතැන්න ගේ බිරිඳ සම්බන්ධ කරගෙනය. හර්ෂණ ජංගම දුරකථනයක් නොගෙනාවේ වැඩි ආරක්ෂාවටය.
දුරකථනයේ බොත්තම කිහිපයක් එබූ ඇය එය කනේ තබා ගත්තාය. රින්ග් වෙනවායි ඇය විරාජ්ට කිව්වේ හිසිනි.
"ආ....මිස් නිදිද, චන්ද ප්‍රතිඵල බලනව ද"
"ඔව් මිස් අපිත් තවම නිදි නැහැ විරාජ් අයියත් දැන් තමයි ගෙදරට ආවේ"
"ඔව් ඔව් මිස් විරාජ් අයියා පරිස්සමින් ආවා"
විරාජ්ට අනෙක් පසින් කියන්නේ මොනවාදැයි නොඇසුනත් අවශ්‍ය පනිවිඩය නිසියාකාරව ලැබුණු බව ඔහුට පසක් විය. හර්ෂණ ගේ නම නොකීවත් මාරතැන්නගේ බිරිඳ එය වටහා ගනු ඇත.
හර්ෂණ මේ නිවසට ආවේ වසර පහකට පමණ පසුවය. ඉතාම පරණ පන්නයේ වූ මේ කුඩා නිවස මාලීනීගේ සැමියාගේ මහගෙදරය. කාමර දෙකකින් කුස්සියකින් හා කුඩා සාලයකින් සමන්විත නිවසේ ඉදිරිපස කොටස භාවිතා උනේ මාලිනීගේ සිල්ලර කඩය පවත්වාගෙන යාමටය.
වෙලාව අළුයම දෙක පසුවී තිබුනත් විරාජ්ටත් හර්ෂණටත් දෙදෙනාටම නිදාගැනීමේ අවශ්‍යතාවක් තිබුනේ නැත. සාලය මැද තැබූ කුඩා රූපවාහිනිය ඉදිරිපිටට වූ දෙදෙනාම ඡන්ද ප්‍රතිඵල අසා සිටියේ උනන්දුවෙනි. කෝපි පානයෙන් පසුව මාලිනී නිදන්නට ගියත් තනුජා නින්දට ගියේ ඡන්ද ප්‍රතිඵල නරඹමින් ටික වෙලාවක් ඔවුන් සමඟ ගත කිරීමෙන් පසුවය.
රූපවාහිනිය දෙසම නෙත් නොහෙලා බලාසිටි හර්ෂණ, උදෑසන හතරට පමණ හිඳ සිටි පුටුව මතම නින්දට වැටුනේ නොදැනුවත්වම.
Monday, October 15, 2012
සිහිනය දිගේ.... (1 කොටස )
අවිස්සාවේල්ල කොළඹ මාර්ගය පාළුවට ගොස් ඇත. ඉඳ හිට හමුවන වාහන දෙක තුනද පොලිස් හෝ හමුදා වාහනය. දහවල පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් ඇත්තේ දැන්ය. මාර්ගය පාළුවට ගොස් ඇතත් කිසිවෙක් තවම නින්දට ගොස් නැතැයි හර්ෂණ සිතාගත්තේ මග දෙපස නිවෙස්වල තවමත් දැල්වෙන විදුලි පහන් නිසාය. ඔවුන් ඡන්ද ප්‍රතිඵල නරඹනවා විය යුතුය. තවමත් නිකුත් වී ඇත්තේ ආසන කීපයක ප්‍රතිඵල පමණක් වුවද සමස්ත ප්‍රතිඵළය කෙසේ ද යන්න හර්ෂණ විජේසේකර මේ වනවිටත් දැන සිටියේය. වසර දාහතක් පුරා බලයේ සිටි රජය බිඳවැටෙමින් විපක්ෂය විශිෂ්ඨ ජයග්‍රහනයකට මුල පුරමින් තිබුනි. හර්ෂණ විජේසේකර ලොවටම රහසින් මේ සඟව යන්නට යත්ත දරන්නේද එහෙයිනි.
Subscribe to:
Posts (Atom)














