මේ දවස්වල තද වැස්ස, ඒ මදිවට හුළඟ. කල්ප විනාසේ ලංවෙලා වගේ එක දිගට පැල්
බැඳගෙන වහිනවා කිසිම වැඩක් කොරන්න හිතෙන්නේ නෑ, ඒතරමට හීතල. කොරන්න
පුළුවන් එකම වැඩේ ඉහේ ඉඳන් පොරවගෙන නිදාගන්න එක.
උදේ හතට විතර නැගිටලා ඇඳෙන් බහින්න කම්මැලි කමට ආයෙත් පොරවගෙන අනෙත් ඇලේට හැරුනා.
“ඉසී ඉසී”, “ඉසී ඉසී” කවුදෝ මේ උදේ පාන්දර පූසෙකුට කතා කරනවා.
ඒත් අපේ ගෙදර පූසෝ නැහැ නේ. එතකොට කවුද මේ උදේ පාන්දර පූසන්ට කතාකරන්නේ,
කොයිකටත් කියලා මම ඇඳෙන් ඉස්සිල්ලා ජනේලෙන් බෙල්ල එළියට දාලා බැළුවා.
බලනකොට අපේ බලු තඩියා ඉන්නවා ජනේලේ ඉස්සරහ, සීතලට ගුලිවෙලා, අපේ මල්ලී
බල්ලට කතා කරනවා “ඉසී ඉසී” කිය කියා, බල්ලට වගේ වගක් නැහැ, වල්ගෙන් ඇස්දෙක
වහගෙන ඌ බුදි.
“හරකෝ, බල්ලට ඉසී ඉසී කිව්වම හරියනව ද ? කතාකරපිය ඉජු ඉජු කියලා”
මම ඇඳේ ඉඳන්ම කෑ ගහලා ආයෙත් රෙද්ද පොරව ගත්තා.
විනාඩි පහක් ගියේ නෑ මෙන්න මල්ලි මගේ කාමරේ
“අයියේ මාර වැඩේ නේ උනේ”
“මම විහිළුවට වගේ ටොමියට ඉසී ඉසී කියලා කතාකරා ඌට තේරෙනවද බලන්න, මූ මට බැන්නනේ “හරකෝ බල්ලන්ට කතාකරන්නේ ඉජු ඉජු කියලා” කියල”