හිච්චි එකා කාලේ ගන්දරයටත් හරි ආසාවක්
තිබුනා ලොකු උනාම නළුවෙක් වෙන්න. ඒ කාලේ බලපු චිත්‍ර පටිවල සනත්
ගුණතිලකලා, සසී විජේන්ද්‍රලා, ජීවන් කුමාරතුංගලා අතපය වනලා උඩපැනලා
උඩදි දුස්ටයට ගහන හැටි දැක්කම ඉතිං ඕන කෙනෙකුට ඔහොම ආසාවක් එන එක අහන්නත් දෙයක්ය.
හැබැයි
ඉතිං හැකියාව තිබුනට හැකියාවට ගැලපෙන රැකියාවක් හොයාගන්න අතදෙන්න කවුරුවත්
නැතිවෙච්චි නිසා කර දඬු උස්මහත් වෙද්දී ඒ ආසාවත් එහෙමම නැතිවෙලා
ගියා.
හැබැයි මේ ඊයේ පෙරේදා දවසක ඔය හේබාලා
තිබිච්ච ආසාව රත්වෙච්චි තෙල් තාච්චියකට වැටිච්ච පපඩමක් වගේ නිකං එක පාරට පිපිලා අළුබළු
ගසාදාලා එහෙම පන ගහලා ආපි. වෙන මොකවත් නිසා එහෙම නොවෙයි මේ ඊයේ පෙරේදා ඉඳන්
පත්තරවල ටීවීවල තාප්ප බිත්තිවල හිනා කටවල් පුරෝගෙන ඉන්න නළු නිළියෝ ගායකයෝ ටික
දැක්කම, ගන්දරයාටත් හිතුනා අනේ දෙයියනේ එදා ගන්දරයත් කොහොම හරි දත කාලා,
දත
කාලා නළුවෙක් හරි ගායකයෙක් හරි උනානං දෙයියනේ කියලා අද ගන්දරයත්
පාර්ලිමේන්තුවේ නේද කියලා.
පාර්ලිමේන්තු යන්න බැරි උනත් පොස්ටර්
ටික දැක්කම සෑහෙන්න කාලෙකට කලින් අපේ ගමේ ඡන්දකාලේක වෙච්ච හරි අපූරු කතාවක් මතක්
උනා. කතාව සිද්ධවෙන කාලේ ගන්දරයා ඉපදිලා තියා ඉපදෙන්න හිතලවත් නෑ. ඒක හින්දා
බලාගෙන හිටියා වගේ මම මේක කිව්වට ඇත්තටම මේක අපේ මාමාගෙන් අහලා දනගත්ත කතාවක්
මිසක් ඇහින් දැකපු දෙයක් එහෙම නම් නොවෙයි ඕං. වැඩි අරළු බුරුළු නැතීව එහෙනම් මෙන්න
මෙහෙමයි කතාව
පොඩ්ඩේ නැන්දා කියන්නේ අපේ ගමේ හිටපු
වයස අවුරුදු පනහක් පනස් පහක් විතර වෙච්ච ගැහැනියක්. කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලා නැති
නිසා මල පොතේ අකුරක් දැනගෙන හිටියේ නැති උනත් ගමේ රොයිටර් පුවත් සේවය පවත්වගෙන
ගියේ පොඩ්ඩේ නැන්ද. පොඩ්ඩේ නැන්දගේ මනුස්සයා මාටිං මාමා, ඔය කාගේ හරි ගඩා ගෙඩියක් කඩලා කුලියක්
මලියක් කරලා කීයක් හරි හොයාගත්ත අහිංසක මනුස්සයෙක්. ළමයි ලපටි එහෙමත් නොහිටපු නිසා
වැඩි පවුල් බරක් එහෙම තිබුනෙත් නැහැ දෙන්නට.
ගමේ අනිත් ගැහැණු ඔය දේශපාලනේ වගේ බරසාර දේවල් ගැන ඒතරම්
උනන්දුවක් නැති උනත් පොඩ්ඩේ නැන්දා එහෙම නෑ. මල පොතේ අකුරක් දැන නොගත්තත් පොඩ්ඩෙ
නැන්දා දේසපාලනේ ගැන සෑහෙන්න උනන්දුයි. උග්‍ර ශ්‍රී ලංකා කාරී, මැතිනිට පන ඇරලා හිටියේ. මාටිං මාමා නං ගර්භාසේ ඉඳන්ම ඌඇම්පී කාරයා
හැබැයි නැන්දත් එක්ක ආරවුල් වලට පැටලෙන්න බැරි කමටම මාමා ඔව්වා පෙන්නන්න ගියේ නෑ. ඒ
තරමට නැන්දා අලියට විරුද්ධයි.
නිකං දවස්වලට ඔව්වයි ඒතරං වග විභාගයක්
නැති උනාට ඡන්දයක් කිට්ටුවෙනකොට නම් පොඩ්ඩේ නැන්දට සෑහෙන්න වැඩ රාජකාරී තියෙනවා. ඒ
කාලේ , ඒ කිව්වේ මීට අවුරුදු තිහකට තිස්පහකට
විතර
කලියෙන් ඔය අදවගේ පක්ෂ හැට හුටාමාරක් තිබුනේ නෑ. තිබුනේ පක්ෂ දෙකයි නිදහස් පක්ෂෙයි
යූ ඇන් පී එකයි විතරයි. මිනිස්සුන්ට තෝරන්න තිබුනේත් අලියද අතද කියලා විතරයි.
ගමේ හිටපු නිදහස් පක්සේ බල කනු දෙක
තමයි ජයතිලක ඉස්කෝලේ මහත්තයයි රත්නායක මුදලාලීයි. ඡන්දයක් කිට්ටුවෙනකොට මේ දෙන්නට
වගේම අපේ පොඩ්ඩේ නැන්දටත් වැඩ රාජකාරී බහුලයි. ඉස්කෝලේ මහත්තයයි රත්නායක මුදලාලියි
දෙන්නා කරුණු කාරනා තෝරලා බේරලා දුන්නට පස්සේ පොඩ්ඩේ නැන්දා තමයි ඔය දේවල් ගමේ
ගොඩේ ගිහිල්ලා අනික් ගෑනු මිනිස්සුන්ට වටහලා දෙන්නේ. හිලව්වට පොඩ්ඩේ නැන්දටත් ඉතිං
වාසියකුත් නැත්තෙම නෑ. රත්නායක මුදලාලී ඒ කාලෙට තමන්ගේ කඩෙන් ඕන වෙලාවක ඕන තරමක්
පොතට බඩු ගෙනියන්න පොඩ්ඩේ නැන්දට අවසර දීලා තියෙන්නේ.
ඉස්කෝලේ මහත්තයයි, මුදලාලියි දෙන්නාම නිදහස් පක්ෂෙට ඡන්දේ
දෙන්න කියනවටත් වඩා කිව්වේ වෙන මොනවා උනත් කමක් නෑ අලියා නම් එපැයි කියලා. ඉතිං
පොඩ්ඩේ නැන්දත් එහෙමයි නැන්දටත් වෙන මොනවා උනත් කමක් නෑ අලියා නම් එපා.වෙන එකක්
තියා නැන්දා රෑට හීනෙං ලතෝනි දෙන්නෙත් අලියා එපා කියලා.
ඡන්දේ ළඟ ළඟම එන නිසා මේ කාලේ නැන්දට ඉතිං කැලේ
ඉන්න අලියෙක්වත් පෙන්නන්න බැරිව තමයි හිටියේ. කොටින්ම කියනවානම් පන්සලේ පෙරහැර
තිබුනට පස්සෙන් පහුවෙනිදා පොඩ්ඩේ නැන්දා පන්සලට දානේ දෙන එකත් නැවැත්තුවේ
හාමුදුරුවන්ට මූනටම දොස් කියලා. හේතුව හාමුදුරුවොත් අලියා ලොකුකරගෙන අච්චර වටින අර
කරඬු රාජයා මේ ගෙරි අලියගේ පිටේ තියලා පෙරහැරේ වැඩම කරවීම.
අපේ පොඩ්ඩේ නැන්ද ගෙදර ඇති කලා
කිකිළියෝ හත් අට දෙනෙක්ම බිත්තර ගන්න. ඡන්දෙට සතියකට විතර කලින් දවසක උදේ පාන්දර
ගමේ මිනිස්සු නැගිට්ටේ මේ කිකිළියන්ගේ මර ලතෝනි කෑ ගැහිල්ලිට. පොඩ්ඩක් එලි පහලියට
බැහැලා බලන කොට කිකිළියෝ ලතෝනි තිය තිය පාර දිගේ දුවනවා, පොඩ්ඩේ නැන්දත් පොල්ලක් අරන්
කිකිලියොන්ට බැන බැන පස්සෙන් එලෝනවා.
පාරේ ගිහිපු හයියහත්තිය තියන කීප
දෙනෙක්ම එකතුවෙලා යාංතං පොඩ්ඩේ නැන්දව නවත්තගෙන හේතුව ඇහුවා පොඩ්ඩෙ නැන්දගෙන්.
පොඩ්ඩේ නැන්දා අම්මා මෝ නැතුව බැන බැන කට්ටියට හේතුව කියනවා
"මේ වරන්තු කිකිළියෝ මගේ ගෙදර ඉඳගෙන
මගෙන්ම කකා, මුන්නේ තියන කුපාඩි කමට අද උදේ බලද්දී
කොල පාටට බිත්තර දාලා නෙව."
පස්සේ ටිකක් හොයලා බලද්දියි වැඩේ
අහුවුනේ උදේ පාන්දර පොඩ්ඩේ නැන්දගේ වත්තට ආපු කොල්ලො ටිකක් කුප්ප කමට කිකිළියෝ
දාලා තිබිච්ච බිත්තර වල කොලපාට සායම් වගයක් ගාලා.
කොහොමෙන් කොහොම හරි ඡන්දේ දවසත් ආවා.
පොඩ්ඩේ නැන්දත් අළුත්ම නිල්පාට රෙද්දකුයි හැට්ටෙකුයි ඇඳගෙන ගියා ඡන්ද පොළට අලියා
එපා කියලා ඡන්දෙ දෙන්න. මගදි හම්බ වෙන හම්බ වෙන අයටත් කිව්වේ අලියා නම් එපා
කියලමයි. ඡන්දේ දීලා ඉවරවෙලා පොඩ්ඩේ නැන්දා කෙලින්ම ගියේ ඉස්කෝලේ මහත්තයලයි ගෙදරට.
පොඩ්ඩේ නැන්දා එහාට යනකොටත් එහේ සෑහෙන්න සෙනඟ. ඈතදිම ඉස්කෝලේ මහත්තයාව දැක්ක
පොඩ්ඩේ නැන්දා අතකුත් උස්සලා හයියෙන් කෑ
ගහලා
"ඔන්න මහත්තයෝ….. අපිත් අලියා එපා කියලම කතිරේ ගහලා ආවා..."
කියලා කිව්වේ හිනා කටක් පුරෝගෙන බොහොම
සන්තෝසෙන්
හැබැයි මේක අහගෙන හිටපු රත්නායක
මුදලාලිට පොඩී අමුත්තක් දැනුනා කොයිකටත් කියලා පොඩ්ඩේ නැන්දගෙන් ඡන්දේ සටහන් කරපු
විදිය ඇහුවේ වැඩි හොඳට.
"ආයේ මක්කැයි මුදලාලී... අලියා එපා
කියලා අලියගේ නැට්ට ගාවින්ම තඩි කතිරයක් ගහලා දැම්මා... අපි එහෙමයි"
පොඩ්ඩේ නැන්දා බොහොම උජාරුවෙන් කියලා
දැම්මා.
මුදලාලියි ඉස්කෝලේ මහත්තයයි දෙන්නම
මොකුත්
නොකියම ඔළුවේ අත ගහගත්තා.
අලිය එපා.....
ReplyDeleteඑහෙනං නලින් අයියත් මේපාර අලියා එපා කියලා ගහයි වගේ.... :D
Deleteඌප්ස්....
ReplyDeleteඔන්න ඕකයි තත්වේ.... :D
Deleteනිල් පාට ලේ ඇඟේ දුවන කෙනෙක් වගේ! :D
ReplyDeleteපොඩ්ඩේ නැන්දා කැපුවත් නිල්... හැබයි මාටිං මාමා නං ගර්භාසේ ඉඳන්ම ඌ ඇම් පී :D
Deleteඅපිත් කියන්නේ අලියා එපාම තමයි..
ReplyDeleteඅලියා ඕන උනත් දෙන්න අලියෙක් නැහැ නෙව බං... :D
Deleteගන්දරයෝ මට සිහිනය දිගේ බලන්න බැරියෝ
ReplyDeleteඔයාගේ මේල් එකට ඇවිත් තියන ඉන්විටේෂන් එක ඇක්සෙප්ට් කරන්න එතකොට හරි
Deleteඅලියා එපා.... අලියා විතරක් නෙවි..... අනික්වා සේරමත් එපා මට නම්. :D
ReplyDeleteඋනුත් එකයි... මුනුත් එකයි...අරුනුත් එකයි :D
Delete