function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Wednesday, November 28, 2012

සිහිනය දිගේ.... (9 කොටස )

  
"රුවන්,  අද දවල් මාව ගන්න එන්න ඉස්සෙල්ලා දොළහට විතර ආයෙත් අපේ ගෙදරට ගිහින් එන්න පුළුවන්ද"

දිල්මි ඇසුවේ, හර්ෂණ සමඟ පාසල් යන තෙවන දින උදයේ, පාසලවෙත යන අතරතුරදී.


"ඒ මොකද මිස්"

හර්ෂණ  ඇසුවේ පිටුපස සිටි දිල්මි දෙස බලමින්.

" ඉස්කෝලේ ඇරිලා අපි අද හවස  යමු ලොකු අක්කලගේ ගෙදර... අම්මා දවල්ට බත් උයලා දේවි, ඔයා දොළහට විතර ගිහින් ඒක අරගෙන එන්න"

"අක්කට බත් එකක් ගිහින් දෙන්නද.... හා මිස් මම ගිහින් ගේන්නම්" 

හර්ෂණ එය බාරගත්තේ කැමැත්තෙනී.

දිල්මිගේ වැඩිමහල් සොහොයුරිය මේධා, මේ දිනවල සිටින්නේ ඇගේ ප්‍රථම දරුවා ලැබීමේ බලාපොරොත්තුවෙනී, ඇය ඒ වනවිට දෙමස් ගැබිණියකි , හර්ෂණ ද ඒ බව දැන සිටියේය.
නගරයට ආසන්න නිවසක පදිංචිව සිටින  මේධාත් , ඇගේ සැමියා වූ තිලංගත්,  ගෙව්වේ යහපත් පවුල් දිවියක්. රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙක් වූ තිලංග උදෑසනින්ම නිවසින් පිටත්ව යයි, මේධා පාන්දරින්ම නැගිට ඔහුට උදේටත් දහවලටත් කන්නට කෑම පිළියෙල කරන්නීය. උදෑසන හතට පමණ ඔහු නිවසින් පිටත්ව ගිය පසු මේධාට කරන්නට විශේෂ වැඩක් නැත.  සැමියා රැකියාවට ගියපසු දවල් කාලයේ නිවසේ සිටින්නේ මේධා පමණි. ඇය දහවල් දවසම ගෙවා දමන්නේ කම්මැලි කමිනී.

දිල්මි හැකි හැමවිටම මේධාගේ නිවසට යාමට පුරුදු වූයේ ඇය විවාහ වී ගිය කාලයේ සිටමය. දහවල් කාලය කම්මැලිකමෙන් ගෙවන මේධාට දිල්මිගේ පැමිණීම අස්වැසිල්ලකි. නංගිලා දෙදෙනාගෙන් මේධා වඩාත්ම කැමතිද දිල්මිටය. දිල්මිද එහෙමය ඇයද කුඩා කාලයේ සිටම වඩාත් ආදරය කලේ තම ලොකු අක්කාටය.  

පවුලේ වැඩිමලා වූ හෙයින්දෝ දිල්මිට මේධාව පෙනුනේ දෙවනි මවක් මෙනි. තම ජීවිතයේ බොහෝ දෑ ඈ ඉගෙන ගත්තේ අක්කාගෙනි. මේධාට ඇය කිසිවක් සැඟවූයේද නැත. මවකට හෝ ලෙංගතු මිතුරියකට කියන්නාසේම දිල්මි සෑම දෙයක්ම කීවේ ලොකු අක්කාටය.
මේධා විවාහ වී මෙහි පදිංචිවූ පසු හැකි සෑම අවස්ථාවකම දිල්මි සිටියේ අක්කාගේ නිවසේය. මේධා ගැබ්ගත් පසු එය වෙනදාටත් වඩා වැඩි විය. මෙසේ යන බොහෝ අවස්ථාවල ඇය ගියේ අම්මාට කියා මොනවාම හෝ දෙයක් සාදවා ගෙනය. අද දහවලට බත් ගෙනියන්නට ඇය සිතුවේද මේධා අම්මා  ගෙදර හදන බත් එකට ආශා බව දන්නා නිසාය.

"රුවන් ඔයත් අද දවල්ට කෑම ගන්න එපා... අම්මා කෑම හදන්නේ අපි තුන්දෙනාටම"
දිල්මි පාසල අසලින් බැස ගියේ හර්ෂණට එසේ කියාගෙනය.

දිල්මිව පාසල අසලින් බැස්සවූ හර්ෂණ, ත්‍රීරෝද රථ ගාලට ගියේය. ඔහු එහි යන විට රථ ගාලේ පැවතියේ තරමක් කළබලකාරී ස්වරූපයකි. පසුගිය දින දෙකටම වඩා වැඩි සෙනගක් අද එහි විය.
තරමක් ඈතින්, මිනිසෙක් බිම වාඩිවී සිටින අයුරුත් ඒ අසළ ජෙරාඩ් බනිස්ගෙඩි කිහිපයක් තබාගෙන බලාසිටින අයුරුත් අනෙකුත් පිරිස ඔහු වටා රොක්වී යමක් නරඹන බවත් හර්ෂණට ඈත තියාම දැකගත හැකිවිය. හර්ෂණ රියගාලට ආවේ ඒගැන විමසිලිමත් වෙමිනි.

"පිස්සු හිඟන්නෙක් ඇවිල්ලා මේ පැත්තට. කෑ ගගහ ටවුම පුරාම ඇවිදිනවා... ජෙරාඩ් අයියා උදේට කෑම අරන් දීලා ඔය ඉන්නේ" 

සිදුවූ සිද්ධිය හර්ෂණට විස්තර කලේ අසළ සිටි තවත් ත්‍රී රෝද රථ රියදුරෙක්.
හර්ෂණ ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. ඔහු තම වාරය එනතෙක් ත්‍රීරෝද රියේම වාඩිවී සුපුරුදු ලෙස දවසේ පත්තර කියවීම ආරම්භ කලේය. ඔහු දැඩි අවධානයෙන් කියවන්නට ගත්තේ "මහේෂ් විජේසේකර අපිට පන්න පන්නා වෙඩි තිබ්බායි" සිරස්තලය යටතේ රජයේ පුවත් පතක පළව තිබූ ප්‍රවෘත්තියකි.
නමුත් ඔහුට වැඩිවේලා නිදහසේ එය කියවන්නට ලැබුනේ නැත. උදේ ආහාරය සඳහා ජෙරාඩ්ගෙන් ලැබුනු බනිස්ගෙඩි දෙක බඩට යවාගත් උන්මන්තක සිඟන්නා යළිත් නගරය පුරා ඇවිදින්නට පටන්ගත්තේය. මෙවර ඔහුගේ නෙතට හසුවූයේ හර්ෂණය.

"සුදු මාත්තියා..... කෑම ටිකක් කන්න පිනට යමා....ක්."

හර්ෂණ සිටියේ පුවත්පත කෙරෙහි බැඳුනු දැඩි අවධානයෙනි, එහෙයින් ඔහු සිඟන්නා දෙස නොබලාම සාක්කුවට අත දමා රුපියල් පහේ කාසියක් ගෙන ඔහු අත තැබීය.

"රුපියල් පහෙන් කන්න පුළුවන් මොන මගුලක්ද මහත්තයෝ..... දැන බිත්තර ආප්පෙකුත් රුපියල් පනහක් විතර...අවුරුදු දාහතක් රට කොරලා ආණ්ඩුව අපිට කෙළවලා ගියා... පිනට යමක් ඉල්ලුවම මුනුත් එන්නේ අපිට කෙළවන්න... තියා ගනින් උඹේ රුපියල් පහ"

සිඟන්නා මහා හඬින් බැන වදිමින් රුපියල පහ විසී කලේය.

හර්ෂණ පුවත් පතින් හිස මෑත් කර නැගී සිටියේ ඉහ වහා ගිය කෝපයෙන් යුතුවය.

අවට සිටින අනෙකුත් රියදුරන් මහා හඬින් සිනහ වෙමින් ඔහු දෙස බලා සිටී. සමහර විට මෙම අත්දැකීම මීට පෙර ඔවුන්ට ලැබී තිබෙන්නට ඇත. හර්ෂණ හිඟන්නාගේ මුහුණ තවත් වරක් බැළුවේ ඔහුට දෙකක් අනින්නටය.

ඔහුගේ මුහුණ තරමක් හුරුපුරුදුය, හර්ෂණට සිනහ යන්නට ආවේ ඔහු සිඟන්නා හඳුනාගත් බැවිනි.  ඒ බණ්ඩාරගේය, මහේෂ් විජේසේකරගේ පෞද්ගලික ආරක්ෂක බලකායේ තවත් එක් සාමාජිකයෙකි. 

හර්ෂණට ඇසකින් ඉඟි කල ඔහු මහා හඬින් බැන වදිමින් නගරය පැත්තට යන්නට ගියේ ය.
අවට සිටින් ත්‍රී රෝද රථ රියදුරන් තවමත් සිනහසේ. ඔවුන්ට මේ පිස්සු හිඟන්නා විනෝදය සපයන්නකු වී ඇත.

"අද උදේ ජෙරාඩ් අයියත් අමු තිත්ත කුණු හරුපෙන්ම බැණුම් අහගත්තා.. " යි මඳක් එහායින් සිටී නලින් කෑ ගසා කිවේ සිනහව අතරින්මය.

"පව් බං අහිංසක මනුස්සයා..." හර්ෂණ අසලම සිටී නිමලසිරි කීවේ සිඟන්නා ගැන උපන් අනුකම්පාවෙන්.

හර්ෂණ ඔහු යන දෙස බලාසිටියේ ඔහු කෙතරම් දක්ෂ නළුවෙකුදැයි සිතින් සිතමිනි.  මේ පැය කිහිපයට ඔහු සියළු දෙනාගේම අනුකම්පාව ලබාගැනීමට සමත්ව ඇත.

4 comments:

  1. එක වචනයයි ගන්දර .. එක වචනයයි... “පට්ට“

    ReplyDelete
  2. උපරිමයි ගන්දර අයියේ උපරිමයි!!!
    චරිත ගොඩනැගීම විශිෂ්ඨයි!!!
    9 දාන්න ගොඩක් කල් ගියා 10 ඉක්මනට ලියන්න :)
    -අමුතු-

    ReplyDelete