ගන්දරයාටත් ගැහැණු ගැන කතාවක් ලියන්නට සිතුනි. කස්සා වගේම මමත් මේක
ලියන්නේ ගැහැණු ගැන පට්ට තරහිනි, ඒ නිසා මෙහි හිනාවෙන්නට දෙයක් නැත.
වසුන්දරාට ඕනෑනම් “ගන්දරයාට පිළිතුරක්” කියා පෝස්ට් එකක් වුවද දැමිය හැකිය,
ඒ ගැන ගන්දරයාගේ අමනාපයක් නැත. “ආලය කල මුත් පණට පණ සේ ස්ත්‍රි ජාතිය නෑ
විස්වාසේ යි” කියා කවුදෝ පුරාණ පඬියෙක් කියා ඇත. ඒ කතාව නම් සහතික ඇත්තය.
මනමේ කුමාරයාටත් උනේ ඒක ය.
ඒ කතාව එහෙමය, මගේ කතාව මෙහෙමය…..
දිනය : හරියටම මතක නැත
වේලාව : ඉර හැරෙන්නට දෙපැයකට පමන පෙර
ගන්දරයාට හදිසි අවශ්‍යතාවකට බොරැල්ලට යන්නට ඕනා විය. ගන්දරයා ඉන්නේ
හෝමාගමය, හොමාගම සිට බොරැල්ලට තනි බසයක් නැත. යායුතු වන්නේ කොට්ටාවට ගොස්
කොට්ටාවේ සිට වෙනත් බසයකය. බසයක් එනතුරු ගන්දරයා කඩයක් අයිනට වී කඩේ
මුදලාලි සමඟ කඩයක් දමාගෙන සිටී. පවනට බඳු වේගයෙන් පියඹා පැමිණි කළු පැහැති
ප්‍රාඩෝවක් කඩය අසල නැවතිනි. එයින් එලියට බැසගත් “අයියා” ඇසේ දමා සිටි කළු
කණ්නාඩිය් කූට්ටම ඔළුවට දමාගෙන කඩයට ගොඩ විය.
“මුදලාලී මට අයිස් ක්‍රීම් ලීටර් 4ක් දෙන්නකො”
“අයියා” මුදලාලිගෙන් අයිස් ක්‍රීම් ඉල්ලයි,
අරුමැකි……. ගන්දරයාට මේ “අයියා” නිකං දැකලා පුරුදුයි පුරුදුයි වගේය…
නමුත් කොහෙදී දැයි මතක නැත…. මේ අතර “අයියා” ද ගන්දරයා දෙස බලා අඳුරන
සිනාවක් පෑවේය
“මල්ලි කොහේ දී හරි දැකලා තියනවා වගේ”
හත්තිලව්වට ගහපු කලාබරයයි කිව්වලු මෙන්න “අයියත්” කියනවා ගන්දරයව දැකලා පුරුදුලු……
“මල්ලී කොහෙද මල්ලී”
“මම හෝමාගම අයියේ”
“මම පානදුරේ…..”
දෙන්නාටම, දෙන්නා හොඳින් දැකලා පුරුදුය…… නමුත් කොහෙදී දැයි දෙදෙනාටම
මතක නැත. ඒකට කමක් නැත “අයියා” යන්නේද බොරැල්ලටය, ගන්දරයත් දෙන දෙයියන්ට
පින් දෙමින් ප්‍රාඩෝවට ගොඩ විය.
“අයියා” ගේ නම රුවන්තය. වැඩ කරන්නේ අහවල් ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්
ලෙසය, අහවල් ඇමති තුමා ද නම ගිය චන්ඩියෙකි, ඒ පිහිටෙන් රුවන්ත අයියා ද
චන්ඩියෙකි, යන ගමන් කතා කරන්නේද කර කී චන්ඩිකම් ගැනය, ගන්දරයාට ද මාර
හැපිය, ගන්දරයා අඳුරන්නේද එසේ මෙසේ පොරවල් නොවේය. නොදන්නවා උනාට ගන්දරයත්
වැදගත් පොරක් නෙව…….
හයිලෙවල් පාරේ ට්‍රැෆික් ය….
” ෂහ් අපිට කොට්ටාවෙන් හරවලා යන්න තිබුනා එහෙනම් ට්‍රැෆික් එකට
අහුවෙන්නෑ…… ඒත් මහරගම ස්ටුඩියෝ එකට යන්න ඕන නේ වෙඩින්ග් එකේ ඇල්බම් ටික
ගන්න”
රුවන්ත අයියා කියයි
“රුවන්ත අයියා ලඟදී ද මැරි කලේ”
ගන්දරයා අසයි
“ඔව් මල්ලී වෙඩින්ග් එක තිබුනේ ගිය සතියේ…. ඔය කැබිහෝල් එකේ Thank you කාඩ් ටිකක් ඇති”
ගන්දරයා එයින් එක් කාඩ්පතක් ගත්තේය…. එහි එක් පසක මනාල යුවල ආදරෙන් වෙලී සිටින පින්තූරයකි අනෙක් පස දෙදෙනාගේ නම් දෙකය
රුවන්ත – ජීවානී
මනාලියගේ නම ජීවානිය…. නම ටිකක් හුරුයි වගේ ය කොයිකටත් කියා පිංතූරය
දෙසද බැලීමි…. අරුමයක්මය….. මනාලියගේ මුහුණද හුරු පුරුදුය….. ගන්දරයා ඒ
මුහුණ ඔස්සේ වසර 5ක් පමණ අතීතයට ගියේය
* * * * * *
කැම්පස් යන්නට පටන්ගත් කාලයේ ගන්දරයා සිටියේ දෙහිවල පැත්තේ බෝඩිමකය,
බෝඩිමට අල්ලපු ගෙදර සිටියේ ගුරු යුවලකි ඔවුනගේ දියණිය ජීවානි ගන්දරයගේ
වයසේමය… ඇය ඒ දිනවල පෞද්ගලික බැංකුවක සේවයට ගියාය. ජීවානි ලස්සනය, කොල්ලෙක්
හිටියේ ද නැත….. වටේ පිටේ හැම කොල්ලාම ඇයට ට්‍රයි ය…. නොකිව්වාට ගන්දරයත්
ට්‍රයි ය. Try and Try one day you can fly යයි සුද්දා කියා ඇත. එය ආදර්ශයට
ගැනීමේන් ටික දිනකින් පියාඹන්නට බැරි උනත් ජීවානි ගේ හොඳම මිතුරා වීමට
ගන්දරයාට හැකිවිය.
ජීවානිට කරදර කරමින් කොල්ලෙක් ඇගේ පස්සෙන් වැටුනේ මෙන්න මේ කාලයේදීය. ඇය
උදේට බස් එකට නගිද්දී ඔහු එතනය, හවසට ආපසු එද්දීත් ඇගේ පසුපසය, කරදරය
ඉවරයක් නැත, බැරිම තැන ඈ ගන්දරයාගෙන් උදව්වක් ඉල්ලුවාය
“ඔයාට පුළුවන්ද ටික දවසකට මගේ Boy friend වගේ අර මිනිහට පේන්න එන්න”
ඉබ්බා දියට දාන්ට හදනකොට වතුරෙ ක්ලෝරීන් වැඩී කිව්වලු, හපොයි ගැනු
ලමයෙක් එහෙම උදව්වක් ඉල්ලුවම නොකර පුළුවනෑ…… ගන්දරයත් පැනලා වැඩේ
බාරගත්තා….. දැන් ගන්දරයා ජීවානිගේ Boy friend වී අර කොල්ලාට පෙනෙන්නට යයි,
ඌ දත් කූරු කමින් අප දෙස බලා සිටියි, ඒ අතර ජීවානිත් තොරතෝංචියක් නැතුව
අරූට බැනවදී
“හැටි විතරක් බූරුවාගේ… උලමා වගේ යන යන තැන මගේ පස්සෙන්…. ඕකව
බඳිනවට වඩා හොඳයි ගස් උඩ ඉන්න රිලවෙක් බඳිනවා….. ලොකේ ඉන්න එකම පිරිමියා ඔය
මිනිහා උනත් මම නම් කැමති වෙන්නේ නෑ නෑ නෑ මයි”
ජීවානී ඒ දවස්වල කියන්නේ එහෙමය දිනක් උදෑසන ඔහු මා ඉදිරිපිටම ජීවානි සමඟ
කතාකරන්නට උත්සාහ කලේය… ඒ වෙලාවේ අහල පහල මගේ මිතුරන් දෙදෙනෙකුත් වූ නිසා
අමාරුවෙන් පුරුස ධෛරිය උපදවා ගෙන ගන්දරයා කතා කලේය
“ජීවානි මගේ girl friend” ගන්දරයා නම් කිව්වේ ඇත්තටමය… “
ඌ මාදෙස තරහින් පිපිරෙමින් බලා සිටි බැල්ම මට තවමත් මතකය” නමුත් ඉන්පසු ඔහු ජීවානි පසු පස ආවේ නැත මාව අහුවුනොත් මගේ “හතර හන්දී කඩනවායි” ඔහු කියූ බවක් නම් මට පසුව ආරංචි විය.
ජීවානි ගන්දරයාට හා කිව්වේ ද නැත….. බෑ කිව්වේ ද නැත……. කෙසේ හෝ ටික
කලකින් ගන්දරයා අළුත් බෝඩිමකට ගියේය. ඉන්පසු ජීවානි ගැන අහන්න ලැබුනේ ද
නැත.
***************
එදා මගේ හතර හන්දී කඩනවායි කියූ එකා දැන් මා ලඟය දැන්නම් මට රුවන්ත
අයියා කව්දැයි හොඳින් මතකය. A/C එක ඇතුලේම ගන්දරයාට හීන් දාඩිය දමයි,
වාසනාවකට රුවන්ත අයියාට තවමත් මා කවුදැයි මත්ක් වී නැත.
“මේ මේ අයි… අයියේ පො… පො… ඩ්ඩ්ක් ඉස්සරහින් න…න..ත්තන්නකො… මේ හ…හදිසි මල…. ගෙ…ගෙ..යක්”
ගන්දරයා ගොත ගහයි. රුවන්ත අයියා පුදුමයෙන් බලා සිටියි, අඩියට දෙකට
ප්‍රාඩෝ වෙන් බිමට පැනගත් ගන්දරයා කකුල් දෙකට පින් දෙමින් දුවගොස් ආපසු යන
හෝමාගම බසයක එල්ලිනි……
“ආලය කල මුත් පණට පණ සේ ස්ත්‍රි ජාතිය නෑ විස්වාසේ “යි කියන්නේ කට කහනවට නොවන බව ගන්දරයා දැනගත්තේ එදා ය
අන්තිම පේළියේ පළවූ කතාව
අන්තිම පේළියේ පළවූ කතාව
No comments:
Post a Comment