function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Sunday, December 16, 2012

සිහිනය දිගේ.... (11 කොටස )



අසංක වරුසවිතාන, හර්ෂණටත් ඔවුන්ගේ පක්ෂයටත් හිතවත් මාධ්‍යවේදියෙකි. මහේෂ් විජේසේකර ඇමතිවරයාගේ ඉතා විශ්වාසවන්තයකු වූ අසංක එදින උදෑසනම කොළඹ සිට දික්පිටිඔය නීතීඥ මාරතැන්න ගේ නිවසට පැමිණියේ රහසිගත සැලසුමක් ද සහිතවය. උදෑසනම දිල්මිව පාසලට ඇරලූ හර්ෂණද, වෙනදා සුපුරුදු ත්‍රී රෝද රථ නැවතුම මඟහැර අතුරු මාර්ග කිහිපයක් ඔස්සේ පැමිණ මාරතැන්න නිවසට ඇතුළු වූයේද අසංක මුන ගැසීමේ බලාපොරොත්තුවෙනි.



 

හර්ෂණ එහි යනවිටත් අසංක හා නීතීඥ මාරතැන්න සිටියේ බරපතල සංවාදයකය. මාරතැන්න නිවසේ සේවකයකුගේ මග පෙන්වීමෙන් ඔවුන් සිටි ඇතුළු කාමරය කරා ගිය හර්ෂණ, එහි ඇතුළු වූයේන්, මාරතැන්නත් අසංකත් දෙදෙනාම ඉදිරියට පැමිණ ඔහුව පිළිගත්තහ.



"අසංක පාන්දරින්ම කොළඹින් ඇවිල්ලා වගේ"



හර්ෂණ කාමරයේ සුව පහසු අසුනක අසුන්ගත්තේ අසංකගේ පිටට තට්ටුවක් ද දමමින්



"ඔව් සුදු බේබී උදේ හතරට විතර එහෙන් ආවා" යි



අසංක පිළිතුරු දුන්නේ හර්ෂණට යාබද අසුනක හිඳ ගනිමින්



"ඉතින් ඔලිවර් අංකල් මොනවද සිද්ධවෙන්නේ"



හර්ෂණ බොහෝ සුහද ලෙස මාරතැන්නගෙන් ඇසුවේ හිඳ සිටි පුටුවේ බොහෝ සුවපහසු ඉරියව්වකට මාරුවෙමිනි. කෙටි වෙලාවකට හෝ රුවන්ගේ චරිතයෙන් මිදී ඔහුගේ සැබෑ ස්වරූපයෙන් සිටින්නට ලැබීම පිළිබඳව හර්ෂණට දැනුනේ සතුටක්.



"සිද්ධවෙන දේවල් නම් සෑහෙන්න තියනවා පුතා... පුතාට කියන්න ටිකක් නරක  ආරංචියකුත් තියනවා."



 



මාරතැන්න හර්ෂණගේ මුහුණ දෙස බැළුවේ ඔහු එය අසන්නට සූදානම් දැයි දැනගන්න අටියෙනි. හර්ෂණ කිසිත් නොකියා අසා සිටියේය.



"තාත්තාව අද හෙට දවස් දෙක ඇතුලත අත්ඩංගුවට ගනිවී පුතා…. ඊයේ රෑ ඕඩර් එක ගිහිල්ලා"



මාරතැන්න කීවේය.



"එක ඉතින් කොහොමත් අපි බලාපොරොතුව හිටපු දෙයක් නේ ඔලිවර් අංකල්.... මට හිතාගන්න බැරි ඇයි අත් අඩංගුවට ගන්න මෙච්චර පමා වුනේ කියලා"



"ඒකටත් හේතුවක් තියනවා"



පිළිතුරු දුන්නේ අසංකය



"ආණ්ඩුවේ කීපදෙනෙකුට ඕන වෙලා තියනවා විජේසේකර ඇමතිතුමාව අත් අඩංගුට ගැනිමේ නාට්ටියක් පෙන්නන්න."



"ඒ මොකක්ද" හර්ෂණ ඇසුවේ කුතුහලයෙනි



"ඇමතිතුමාව පාතාල මර්ඩර් කරපු එකෙක් වගේ කොහේ හරි තැනකදි ඒකපාරට ප්‍රසිද්ධියේ අත් අඩංගුවට අරගෙන මිනිස්සුන්ට දැනෙන විදියට පොඩි ෂෝ එකක් දාන්න……. ඡන්ද උණුහුම එහෙම ටිකක් මැකෙනකන් තමයි ඔය පහුගිය සති දෙක තුනේ අත් අඩංගුවට නොගෙන හිටියේ"      



අසංක පැහැදිලි කලේය



"ඔලිවර් අංකල් තාත්තට බැරි ද ලෝයර් කෙනෙක් එක්ක ගිහින් පොලිසියට බාරවෙන්න"



"වැඩක් නැහැ පුතා... තාත්තා මුලදිම බාරවුනා මොකද කරේ කට උත්තරයක් අරගෙන ආපහු ගෙදර එව්වා. අනිත් එක බාරවුනා නෙවෙයි මොනවා උනත් පහුවෙනිදා පත්තර ටීවී වල පොල් ගෙඩි අකුරින් තියේවි මහේෂ් විජේසේකර රටින් පලායාමට තැත් කිරීමේදී පොලිස් අත් අඩංගුවට කියලා."



"අනිත් එක පුතා මේක උන්ගේ වෙලාව... උන් තමයි මේ නාට්ටිය අධ්‍යක්ෂණය කරන්නේ. අපිට තියෙන්නේ නාට්ටිය අපේ අතට ගන්න පුළුවන් වෙලාව වෙනකන් ඉවසගෙන ඉන්න එක"



මාරතැන්න වැඩිදුරටත් පැහැදිලි කලේය.



හර්ෂණ සුසුමක් හෙළුවේය.



"ආණ්ඩුවේ කවුරු කවුරුද අංකල් මේක පිටි පස්සේ ඉන්නේ" ඔහු ඇසුවේ මඳ වේලාවක් නිහඬව සිටිමෙන් පසුවය.



"කැලේ ගහක් නහන්න එන්නේ කැලෑ ගහක්මයි සුදු බේබි, ආණ්ඩුවේ එවුන් නෙවි අපේම එවුන් තමයි අපිට ගහන්නේ..... අර කළුපහනය... ඌත් ඉන්නවා මෙවායේ ඇතුලේ"



අසංක කියාගෙන ගියේ කෝපයෙනි



"පරයා....යි" හර්ෂණට කියවින.



"වේලාවක් ආපුවාවේ ඕකව බල්ලෙක්ට වගේ වෙඩි තියලා මරලා දානවා" යි කියමින් හර්ෂණ කෝපයෙන් දත්මිටි කෑවේය.



"පුතා දන්නවද තවත් කතාවක්" මාරතැන්න ඇසුවේ කෝපයෙන් සිටි හර්ෂණගේ පිටට තට්ටු කරමිනි.



"තාත්තගේ කේස් එක සම්පූර්ණයෙන්ම හැන්ඩ්ල් කරන්නේ ඩී අයි ජී පින්නවල"



හර්ෂණ තිගැස්සුනේය. මාරතැන්න කීවේ ඇත්තයයි ඔහුට සිතුනි. මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ඔවුන්ය. පිටපත තිර නාටකය පවා ඔවුනගේය. තමන් එහි රඟපාන නළුවන් පමණි. මේ ඔවුන්ගේ වෙලාවය, එය වෙනස් කරන්නට නොහැකිය කලයුතු හොඳම දෙය නම් ඉවසීමය.



ඩී අයි ජී පින්නවල යනු මහේෂ් විජේසේකර සමඟ ජන්මාන්තර වෛරයකින් පසුවන පොලිස් නිළධාරියෙකි. හර්ෂණට පින්නවලගේත් තම පියාගේත් අතීතය සිහියට නැගුනි.



ඒ මෙයින් වසර හත අටකට පෙර අතීතයයි, එකල නර්මදා විජේසූරිය ජාතික රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරමින් සිටියාය. මහේෂ් විජේසේකර රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් වුවද නර්මදා කිසිවිටකත් තම සැමියාගේ ඇමති ආරක්ෂකයන් හෝ නිල රථ භාවිතා කලේ නැත. ඇය සෑම දිනකම උදේ සවස රෝහලට ආවේ ගියේ ඇය විසින්ම පදවනු ලැබූ ඇගේ කුඩා කාරයෙනි.



දිනක් සවස්වරුවේ ඇය රෝහලේ සිට නිවසට එන අතරතුර ඇගේ රථය තවත් රථයක් සමඟ ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරට පත් අනෙක් වාහනයේ සිටියේ එවකට ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ පින්නවල සහ ඔහුගේ බිරිඳයි. අනතුරින් ඔහුගේ රථයට දැඩි අලාභහානී සිදුවී තිබුණි. ප්‍රකෝපයට පත්ව සිටි පොලිස් අධිකාරීවරයා තම පොලිස් බලතල අයුතු ලෙස භාවිතා කරමින් නර්මදා විජේසූරිය පොලිසියට රැගෙන ගියේය. නමුත් නර්මදා විජෙසේකර යනු ඇමති විජේසේකරගේ බිරිඳ බව ඔහු මොහොතකටවත් දැන සිටියේ නැත.



තම බිරිඳට සිදුවූ අකරතැබ්බය පිළිබඳව සුළු වෙලාවකින්ම මහේෂ් විජේසේකරගේ කනට වැටිනි. දණ්ඩෙන් පහර කෑ සර්පයකු සේ කෝපයට පත් මහේෂ් විජේසේකරත් ඔහුගේ මැරවර පිරිසත් පොලිසිය වටකලහ.  දැඩි ලෙස ප්‍රකෝපයට පත්ව සිටි මහේෂ් විජේසේකර පොලිස් අධිකාරී පින්නවලට බිම දමාගෙන පහර දුන්නේ අනෙකුත් පොලිස් නිලධාරීනුත් අවට දෙනෝදාහක් පිරිසත් ඉදිරිපිටමය. 



පසු දින පුවත්පත් වල ප්‍රධාන පුවත වූයේ මෙම සිදුවීමයි. අවසානයේ අධිකරණය දක්වාම දුරදිග ගිය සිදුවීම අවසන් වූයේ පොලිස් අධිකාරී පින්නවල වැරදිකරු වීමෙනි.



හර්ෂණ මේ සිදුවීම සිහිකලේ භීතිය මුසු කෝපයකිනි. පින්නවලට එදා සිදුවූ අවමානයට පලිගැනීමට අද අවස්ථාව ලැබී ඇත. ඔහු එය උපරිමයෙන් ප්‍රයෝජනයට නොගනීයයි සිතන්නට තරම් හර්ෂණ මෝඩයකු නොවේ.



කිසිවෙක් ඔවුන් සිටි කාමරයේ දොරට තට්ටු කලෙන් ඔවුනගේ කතාව නතරවිය. ඇරුනු දොරින් ඇතුලට ආවේ නීතීඥ මාරතැන්නගේ පුත් අරවින්ද මාරතැන්නයි. ඔහු පිටුපසින් බන්දෙසි කිහිපයක් ඔසවා ගත් සේවකයෙක්ද විය.



සැන්විච්ඩ් හා දොඩම් යුෂ සහිත බන්දේසිය කාමරයේ මේසයක් මත තැබූ සේවකයා පිටව ගියේය. අරවින්ද මාරතැන්න තවදුරටත් කාමරයේම රැඳුනේ ඔහු ඔලිවර් මාරතැන්නගේ සහය නීතීඥයා ලෙස මෙම වැඩපිළිවෙලට සම්බන්ධව සිටි බැවිනි.



  "හ්ම්ම් ඒ කියන්නේ තාත්තව එළියට ගන්න එක ලේසි වෙන්නේ නෑ..."



හර්ෂණ කීවේ දොඩම් යුෂ වීදුරුව තොලගාන අතරතුර.



 



ඔලිවර් මාරතැන්න බැරෑරුම් ලෙස හිස වැනුයේ හර්ෂණගේ අදහස හරියැයි කියමින්



අනතුරුව ඔහු හැරුනේ අසංක දෙසටය



"අපේ නඩුවට මොකද වෙන්නේ අසංක"



"අහ් ඒ ගැන තමයි මම මේ බල බල හිටියේ "



මාරතැන්න කීවේ අසල මේසය මත තිබූ ලිපි ගොනුවක් ඔසවා පෙන්වමින්



හර්ෂණත් අසංකත් දෙදෙනාම ඔලිවර් මාරතැන්න අත තිබූ ලිපි ගොනුව පිළිබඳව දැන සිටියත් ඒ කුමක්දැයි අරවින්ද මාරතැන්න දැන සිටියේ නැත.



 



"මේක තමයි අපේ අළුත්ම නඩුව..."



ඔලිවර් මාරතැන්න කීවේ ලිපිගොනුව අරවින්ද අතට දෙන ගමන්



ලිපිගොනුව ගත් අරවින්ද එය උනන්දුවෙන් පරීක්ෂා කලේය.



හර්ෂණත් අසංකත් ඔලිවර් මාරතැන්නත් විමසිල්ලෙන් බලාසිටියේ ලිපිගොනුව පරීක්ෂා කරන අරවින්දගේ මුහුණේ ඉරියව් දෙසය.



මඳ වේලාවකට පසුව අරවින්ද හිස එසවූයේ විමතියෙනි.



"මේ... මේකෙ තියෙන්නේ විජේසේකර ඇමත්තුමා බිලියන ගානක මුදල් වංචාවක් කාලා කියන සාක්ෂි නේ..... මේකට නඩුවක් වැටුනොත් ඇමතිතුමා එළියට එනවා බොරු"



අනෙක් තිදෙනාම සිනහසුනෝය. අරවින්ද මාරතැන්න තවමත් සිටියේ විපක්ෂිතවය



"මට තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා"



ඔහු කීවේ පහව නොගිය කුතුහලයෙන් යුතුවය.



"මම තේරුම කරලා දෙන්නම්" හර්ෂණ ඔහු වෙනුවෙන් ඉදිරිපත් විය



"අපි ඔය ෆයිල් එක වනිගසූරියලා අතට ලැබෙන්න සලස්වනවා... එතකොට උන් ඔය ෆයිල් එක බලලා අපිට තව කේස් එකක් දාවි මේ බිලියන ගානක මුදල් වංචාවක් කියලා, උසාවියේ නඩුවකුත් වැටේවි, මීඩීයා වලටත් හොඳ නිවුස් එකක් වේවි."



 



අරවින්ද තවමත් බලාසිටින්නේ පහව නොගිය කුතුහලයෙනි, හර්ෂණ දිගටම කියාගෙන ගියේය.



"හැබැයි ඕක සම්පූර්ණ බොරු... බිලියන ගානක වංචාවක් තියා ඔහොම ගණු දෙනුවක් වත් වෙලා නැහැ. ඔය ඩොකියුමන්ට් ඔක්කොම බොරු ඒවා."



"මෙන්න මේ ෆයිල් එකේ තියෙන්නේ ඕක බොරු කියලා ඔප්පු කරන්න ඕන දේවල්" හර්ෂණගේ කතාව අතරතුර ඔලිවර් මාරතැන්න තවත් ලිපිගොනුවක් පෙන්වමින් කීවේය.



"උසාවියේ නඩුවකදී නිකම්ම ඔප්පු වෙනවා ඔය චෝදනාව බොරුවක් බව... කරදරයක් නැතිවම තාත්තා ඔය චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වෙනවා"



අරවින්දට තවමත් එය නිසියාකාරව වැටහුනේ නැත.



"ඉතින් අපිම මෙහෙම නඩුවක් දාලා අපිම නිදහස් කරගන්න එකේ තේරුම මොකක්ද"



හර්ෂණගෙ මුවට මඳ සිනහවක් නැගුනි



"එකේ තේරුම තමයි මේ බොරු නඩුව නිසා මිනිස්සුන්ට අමතක වෙනවා මහේෂ් විජේසේකර ඇමතිතුමාගේ ඇත්තම මිනී මැරුම් නඩුව... මිනිස්සුන්ගෙයි මිඩීයාවලයි අවධානේ යොමු වෙන්නේ මේ බොරු නඩුවට... ඇත්ත නඩුවෙන් මොනවා වුනත් බොරු නඩුවෙන් ඇමතිතුමා නිදොස් කොට නිදහස් වෙනවා. හිරේ ඉඳලා එළියට එන දවසකට මීඩියාවල යන්නේ ඇමතිතුමා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කියලා... මිනිස්සුන්ගේ ඔළු ඇතුලට යන්නෙත් ඒ විදියට"



හර්ෂණත්, අසංකත් මාරතැන්න පිය පුතු දෙපලත් සිනහ නැගුවේ එකටමය. අසංක එදින සවස ආපසු කොළඹ පැමිණියේ රහසිගත ලිපිගොනුවත් සඟවාගෙනය.

4 comments:

  1. කතාව නම් දවසින් දවස කියවන්න ආස හිතෙන විදිහට ගොඩනැගෙනවා මචං.. මෙහෙම ලියනව නම් කොටස් 100ක් තිබුනත් කමක් නෑ

    ReplyDelete
  2. අඩේ අගේ නොකර ඉතුරුවත් ඉක්මනට දාපන්කෝ.නැත්තන් දිග එකක් දාපන් ....

    ReplyDelete
  3. ඔන්න ඔහොමලු ප්‍රශ්න විසඳන්නේ :D

    ReplyDelete